හෙට සිට ලබන 11 වන දා දක්වා පාර්ලිමේන්තු සැලැස්ම

පාර්ලිමේන්තුව හෙට සිට ලබන 11 වනදා දක්වා රැස්වීමට නියමිතව තිබෙන අතර එම කාල සීමාවට අදාළ කටයුතු පසුගිය ජූලි මස 21 වනදා පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ දී සැලසුම් කර තිබෙනවා.

මේ අනුව සෑම දිනකම පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන්කර තිබෙනවා.

හෙට පෙරවරු 10.30 සිට පස්වරු 5.30 දක්වා 2023 වසර මැද මූල්‍ය තත්ත්වය පිළිබඳ වාර්තාව පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිතය.

අගෝස්තු මස 09 වනදා ඔට්ටු ඇල්ලීම සහ සූදු බදු සංශෝධන පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම, ධීවර සහ ජලජ සම්පත් පනත යටතේ නියෝග විවාදයට ගැනීමට නියමිත බව යි වාර්තා වෙන්නේ.

එදිනම පස්වරුවේ පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් වන ශ්‍රී ලංකා බදුකරණ කාර්යායතනය සංස්ථාගත කිරීමේ සංශෝධන පනත් කෙටුම්පත සලකා බැලීමට ද තීරණය කර තිබෙනවා.

අගෝස්තු මස 10 වනදා විරුද්ධ පාර්ශ්වය විසින් ඉදිරිපත් කෙරෙන යෝජනාවට අනුව “වර්තමානයේ වතු ප්‍රජාව මුහුණදෙන සමාජ-ආර්ථික ගැටලු” පිළිබඳ කල්තැබීමේ විවාදය පැවැත්වීමට නියමිත බව පාර්ලිමේන්තු සන්නිවේදන දෙපාර්තමේන්තුව සඳහන් කළේය.

අනතුරුව අගෝස්තු මස 11 වනදා පෙරවරු 10.30 සිට පස්වරු 05.00 දක්වා, පෞද්ගලික මන්ත්‍රීන්ගේ යෝජනා ඉදිරිපත් කිරීමට වෙන්කර ඇති අතර පස්වරු 05.00 සිට පස්වරු 5.30 දක්වා සභාව කල්තබන අවස්ථාවේ ප්‍රශ්න සඳහා කාලය වෙන් කර තිබෙනවා.