සියලු ශ්‍රේණි සඳහා වසරකට එක වාර විභාගයක්

2024 වර්ෂයේ පළමු වසරෙන් ආරම්භ වන සියලු ශ්‍රේණි සඳහා වාර විභාග අඩුකර වසරකට එක් විභාගයක් පමණක් පැවැත්වීමට සැලසුම් කර ඇති බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පවසනවා.

සෑම පාඩමක් හෙවත් මොඩියුලයක් අවසානයේ තක්සේරුකරණයක් හරහා ලකුණු පරිගණක සටහන් ලෙස වාර්තාගත කර තබා වසර අවසානයේ පවත්වන වාර විභාගයට එම ලකුණු එකතු කරන බවත් මුල දී මෙය විභාග ලකුණු 70%ක් හා මොඩියුලයේ ලකුණු 30%ක් වශයෙන් සැලකෙන නමුත් ක්‍රමයෙන් එය 50%ක් දක්වා සමාන ලකුණු පරාසයකට ගෙන එන බවත් අමාත්‍යවරයා පැහැදිලි කරනවා.

එසේම මෙම වැඩපිළිවෙලට සමගාමීව එක් පාසල් වාරයක් සඳහා එක වැඩ පොතක් වන සේ වාර තුන සඳහා පාසල් වැඩ පොත කොටස් තුනකින් යුතුව සිසුන්ට ලබා දෙන බවයි ඔහු සඳහන් කරන්නේ.

සිසු පොත් බෑගයේ අධික බර ප්‍රමාණය අඩුකිරීමට මෙමඟින් අපේක්ෂා කරන අතර සිසුන්ගේ කශේරුකාව ඍජුව තබාගෙන ශරීර සුවතාවය ආරක්ෂා කරගැනීමට ද මෙමඟින් අපේක්ෂා කෙරෙනවා.