හෙටින් ඇරඹෙන LPL

ශ්‍රී ලාංකේය ක්‍රිකට් මහා සැණකෙළිය ලෙස හැඳින්වෙන ලංකා ප්‍රිමියර් ලීග් (LPL) විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය හෙටින් ඇරඹීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව හෙට ආර් ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රීඩාංගනයේ දී පස්වරු 7.30 ට පසුගිය අවසන් මහා තරඟයේ ශුරතාවය සහ අනුශූරතාවය ලැබූ Jaffna Kings සහ Colombo Strikes යන කණ්ඩායම් දෙක අතර වූ තරඟයෙන් 2023 වසරේ LPL තරඟාවලිය ආරම්භ වනවා.

Jaffna Kings, Galle Titans, Dambulla Aura, B-Love Kandy, සහ Colombo Strikers යන කණ්ඩායම් තරඟ වදින මෙවර විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය ලබන මස 20 වැනි දා දක්වා කොළඹ සහ මහනුවර දී පැවැත්වීමට කටයුතු යොදා තිබෙනවා.

අගෝස්තු පළමුවෙනිදා දක්වා වූ තරඟ කොළඹ දී ද, අගෝස්තු 4 සිට 8 දක්වා ඇති තරඟ නුවර පල්ලකැලේ ක්‍රීඩාංගනයේ දී ද පැවැත්වේ. අනතුරුව අවසන් අදියරයේ තරඟ අගෝස්තු 11 සිට 20 දක්වා කොළඹ ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වේ.

අවසන් මහා තරඟය අගෝස්තු 20 වන දා ආර් ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙන අතර යම් හෙයකින් එයට බාධා එල්ල වුවහොත් අගෝස්තු 21 වන දා අතිරේක දිනයක් ලෙස වෙන් කර තිබෙන බවයි ආරංචි මාර්ග සඳහන් කරන්නේ.