නායයෑමේ අවදානම් නිවේදන දීර්ඝ වෙයි

පවතින තද වැසි හේතුවෙන් පනවා තිබූ නායයෑමේ අවධානම් නිවේදන තවදුරටත් දීර්ඝ කර ඇති බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසනවා.

ඒ අනුව නුවර පස්බාගේ කෝරලේ, නුවරඑළිය අඹන්පොල මෙන්ම රත්නපුර නිවිතිගල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙම නායයෑමේ අවදානම් නිවේදනය දීර්ඝ කර තිබෙනවා.

එමෙන්ම කඳුකරයට ඇද හැලෙන වර්ෂාව හේතුවෙන් කාසල්රි ජලාශයේ ජල ධාරිතාව ද විශාල ලෙස ඉහළ යමින් තිබෙන බවයි වාර්තා වෙන්නේ.

ඉහළ කොත්මලේ ජලාශයේ ද වාන් දොරටු දෙකක් පෙරේදා විවෘත කෙරුණු අතර තව දුරටත් එහි ජල පෝෂක ප්‍රදේශවලට වර්ෂාව ලැබෙන්නේ නම් ජලාශ වේල්ලට පහලින් කොත්මලා ඔය දෙපස සිටින ජනතාවට සැලකිලිමත්ව සිටින ලෙස යි දැනුම් දෙන්නේ.