සිංහල අලුත් අවුරුද්ද ලබන්න කලින් තියෙන අවසාන පෝය ඒ කියන්නේ බක් පුන් පොහෝ දිනය අදට යෙදිලා තියෙනවා.
මුළු ලංකාව පුරාම සීල ව්‍යාපාර, දාන මාන පින්කම්, ධර්ම දේශනා වගේ ආමිස ප්‍රතිපත්ති පූජා රැසක් සිද්ධ වෙන අද දවස ඓතිහාසික වශයෙන් ලාංකික අපිට ලොකු වැදගත්කමක් තියෙන පෝය දවසක්.
බුදු හාමුදුරුවෝ ලංකාපුරයට තුන් වතාවක් වැඩම කළා කියලා ඉතිහාස පොත්වල වගේම පුරාන ශාසන ග්රන්ථ වලත් සඳහන් වෙලා තියෙනවා. ඉතින් පලවෙනි වතාවට වඩින්නේ උන් වහන්සේගේ බුද්ධත්වයෙන් නව වෙනි මාසයේ මහියංගන භූමියට. එතකොට දෙවෙනි වතාවට වඩින්නේ නාගදීපයට. ඒ බුද්ධත්වයෙන් පසුව පස් වෙනි අවුරුද්දේ අද වගේ බක් පොහෝ දිනයක.
එදා පොහෝ දින උදැසන උන් වහන්සේ මහා කරුණා සමාපාත්තියට වැදිලා උන් වහන්සේගේ පිහිට එදින ලැබීමට සුදුසු පුද්ගලයන් දෙස බලන කොට උන්වහන්සේ දැක්කා ලංකාපුරයේ මැණික් පුටුවක් හේතුවෙන් දෙපිරිසක් අතර මහා කොලාහාලයක් සිද්ධ වෙන්න යනවා කියලා. තමන්ගේ ධර්මය ආරක්ෂා වෙන භුමියේ සිද්ධ වෙන්න යන මේ විනාශය වළක්වන්න උන්වහන්ස්යේ සැවැත්නුවර ජේතවනාරාමයේ සිට ලංකාපුරයට අහසින් වඩින්න තීරණය කළා. මේ ගමනට එකතු වෙන්න නොයෙකුත් දෙවිවරු හා රහතන් වහන්සේලා අවසර පැතුවත් ඔවුන්ට අවසර හිමි වුනේ නැහැ. එත් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටිය අබියස තියෙන කිරිපළු වෘක්ෂයට අධිපති සමින්ධි සුමන කියන වෘක්ෂ දේවතාවට තමන් වහන්සේ සමඟ එන ලෙස උන්වහසේ දැන්වුවා.
ඉතින් මේ සමින්ධි සුමන ඒ කිරිපළු වෘක්ෂය ඡත්රයක් ලෙස බුදු හාමුදුරුවන්ට ඉහළින් දරා ගෙන අහසින් උන් වහන්සේ සමඟ ලංකාපුරයට පැමිණියා.
ලංකාපුරයේ නාගදීපයක චූලොදර සහ මහෝදර ගේ නායකත්වයෙන් යුධ වැදීමට සුදානම් වෙලා ඉන්න නාග ගෝත්‍රිකයන් සිටින ස්ථානයට වැඩම කල බුදුරජාණන් වහන්සේ මහා ඝන අන්ධකාරයක් මවා ඉන් පසුව අන්ධකාරයට අතරින් බුද්ධ රශ්මි ආලෝක ධාරාවන් විහිදුවමින් වැඩ සිටියා. කලින් වතාවක් බුදුරජාණන් වහන්සේ විසින් ලංකාපුරයට වැඩම කර ඇති බව දන්නා නිසාම උන්වහන්සේ හැඳින ගත නා රජවරු උන්වහන්ස්සේට වන්දනාමාන කළා. ඒ අවස්ථාවේදී බුදුරජාණන් වහන්සේ විසින් ඔවුන්ට යුද්ධයේ ආදීනව පිළිබඳව දේශනා කළා කියලයි අපේ ධර්ම ග්රන්ථ වල සඳහන් වෙන්නේ. ඒ දේශනා අසා පැහැදීමට පත් නා රජවරු විසින් යුද්ධය ආරම්භ කිරීමට හේතු වූ මැණික් පුටුවේ වැඩ වෙසෙන ලෙස උන් වහන්ස්සේට ආරාධනා කළා.
බුදුරජාණන් වහන්සේ විසින් එහි වැඩ සිටීම නිසා පාරිභෝගික ධාතුවක් වුනු මේ මැණික් පුටුව නිදන් කරලා ඒ නා රජවරු වෙහෙරක් කරවලා තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ තමන් සමඟ ආ සමින්ධි සුමන දේවතාවට මේ ලංකාපුරයේ වැඩ සිටින ලෙස දන්වමින් උන්වහන්සේ යලිත් සැවැත්නුවර බලා පිටත් වුනා කියලයි සඳහන් වෙන්නේ.
මේ යුද්ධයට සහභාගී වීමට පැමිණි සිට මනියක්ඛික කියන නා රජු තමන් ගේ රාජ්‍ය වන දකුණු ප්‍රදේශයේ ඇති කැලණියට වඩින ලෙස බුදු රජාණන් වහන්සේ ට ආරාධනා කළෙත් අද වගේ පෝය දවසක.
බුදුරජාණන් වහන්සේ විසි දහසක් සඟුන් පිරිවරා ගෙන රජගහ නුවර වේළුවනාරාමයේ සිට කපිලවස්තුවට වැඩම කලෙත් අද වගේ දවසක. මැදින් පොහෝ දිනයකින් ආරම්භ වුණු මේ ගමන යොදුන් තිහක දුරක් යි. උන් වහන්සේ මෙහෙම වැඩියේ සුද්ධෝධන රජතුමා ඇතුළු සිය ඥ්යතින් ට පිහිට වෙන්න.
ඒ වගේම තමයි ගිහි ගෙයින් නික්මීමට හේතු වූ සතර පෙර නිමිති අතරින් පලවෙනි නිමිත්ත වන මහල්ලෙක්ව, උයන් සිරි නරඹමින් සිටි සිද්ධාර්ථ කුමාරයා විසින් දැක්කෙත් මේ බක් පොහෝ දිනයක.
ඉතින් මේ වගේ හේතු කාරණා රාශියක් නිසා මේ බක් පොහෝ දිනය අපිට වැදගත් වෙනවා.
ඔබත් මේ පුන් පොහෝ දිනය ධර්මයේ හැසිරෙමින් අර්ථවත් ලෙස ගත කරන්න අමතක කරන්න එපා.
ඔබ සැමට තෙරුවන් සරණයි !!!

