එංගලන්තය සති 4කට වසාදමයි

එංගලන්තය සති හතරක කාලයක් සඳහා වසාදැමීමට තීරණය කර තිබේ.

ඒ අනුව දෙසැම්බර් 02 වනදා දක්වා රට වසා දමන බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් නිවේදනය කර ඇත.

කොවිඩ් නයින්ටීන් වෛරසය යළි සීඝ්‍රයෙන් පැතිරයාම පාලනය කිරීම සඳහා මෙම පියවර ගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේය.

අප්‍රේල් මාසයට වඩා වේගයෙන් වෛරසය මෙවර පැතිර යමින් පවතින බව බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කර තිබේ.

කොවිඩ් වෛරසය පැතිරයාමත් සමග එංගලන්තය සම්පූර්යෙන් වසාදැමුණු දෙවන අවස්ථාව මෙය ලෙස සැලකෙයි.

කෙසේවෙතත් අදාළ කාලය තුළ ඇතැම් පාසල් සහ විශ්වවිද්‍යාල විවෘතව තැබිය හැකි බව ද සඳහන් වේ.

සමස්ථ ගෝලීය කොවිඩ් ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 10 ඉක්මවූ නවවැනි රට බවට අද එංගලන්තය පත්ව තිබේ.

ඒ ඊයේ (31) එරටින් නව ආසාදිතයන් 21,915 දෙනෙක් හඳුනාගැනීමත් සමගය.

ඒ අනුව එරට සමස්ථ ආසාදිතයින් ගණණ 1,011,660ක් දක්වා ඉහළ ගොස් ඇති අතර, එරට සමස්ථ කොවිඩ් මරණ සංඛ්‍යාව 46,555කි.

කෙසේ වෙතත් එලඹෙන නත්තල් සමයේදී පවුල්වලට එක්වී කාලය ගතකිරීමට අවස්ථාව සැලසෙන පරිදි ක්‍රියාමාර්ග ගැනීමට බලාපොරොත්තු වන බවද අගමැතිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.