යුරෝපයේ රටවල කොරෝනා නැවත හිස ඔසවයි

කොවිඩ් -19 පැතිරීම නැවත වරක් ඉහළ යෑමත් සමග යුරෝපයේ විශාලම ආර්ථිකයන් සහිත රටවල් දෙකක් නැවතත් සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

හෙට සිට ප්‍රංශ ජනතාවට තම නිවසින් පිට විය හැක්කේ අත්‍යවශ්‍ය සේවා සඳහා හෝ සෞඛ්‍ය හේතු මත පමණි.

ඒ පිළිබඳ ව ප්‍රංශ ජනාධිපති එම්මානුවෙල් මැක්‍රෝන් පැවසුවේ, “අපේ රට තුළ දෙවැනි රැල්ලක් ඇතිවීමට හැකියි. එහි බලපෑම පළමු වතාවට වඩා දරුණු විය හැකියි,” යනුවෙනි.

මේ අතර ජර්මනිය මුළු රට ම ආවරණය වන පරිදි අර්ධ වශයෙන් සංචරණ සීමා පැනවීමට තීරණය කර තිබේ.

චාන්සලර් අන්ජෙලා මර්කල් පැවසුවේ ඒ අනුව භෝජනාගාර, මත්පැන් අලෙවිසැල්, කායවර්ධන මධ්‍යස්ථාන සහ සිනමාහල් වසා තැබෙන බවය.

යුරෝපය පුරා ආසාදිතයින් සහ මරණ ඉහළයමින් පවතින අතර එක්සත් රාජධානියෙන් ඊයේ මරණ 310ක් සහ ආසාදිතයින් 24,701ක් වාර්තා වී තිබේ.
 
පර්යේෂණ වාර්තාවකට අනුව එංගලන්තයේ දෛනිකව පුද්ගලයින් 100,000ක් පමණ ආසාදිතයින් ලෙස හඳුනාගන්නා බව වාර්තා වන අතර වසංගතය පාලනයට ක්‍රමෝපායන් වෙනස් කිරීමට එමගින් රජයට සිදුවන බව විදෙස් මාධ්‍ය පවසයි.

පසුගිය අප්‍රේල් මාසයෙන් පසුව දෛනිකව වාර්තා වන ආසාදිතයින් සහ මරණ ප්‍රංශයේ ඉහළ යමින් පවතී.

ඊයේ එරටින්, නව ආසාදිතයින් 36,437ක් හඳුනාගත් අතර වාර්තා වූ මරණ ගණන 244කි.