කොරෝනා හේතුවෙන් යළිත් චීනයේ පාසල් වසා දැමේ

කොරෝනා දෙවන රැල්ල ව්‍යාප්තියත් සමඟ සියලුම පාසල් ලබන සඳුදා සිට වසා දැමීමට හොංකොං රාජ්‍ය අද තීරණය කළා.

දින 2 ක් තුළ අඛණ්ඩව කොරෝනා ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් හොංකොං රාජ්‍ය මෙම තීරණය ගෙන තිබෙනවා.

සෞඛ්‍ය ආරක්‍ෂිත ක‍්‍රමවේද මැද සිංගප්පූරුව අද එරට මහ මැතිවරණය පැවැත්වූ බවයි විදෙස් මාධ්‍ය වාර්තා කළේ. සිංගප්පූරුව යනු ආසියා පැසිෆික් කලාපයේ කොරෝනා වෛරසය දැඩි බලපෑම් එල්ල වු රට ද වනවා.

මේ අතර බි‍්‍රතාන්‍ය වැසියන්ට රටවල් 70 කට වැඩි සංඛ්‍යාවක සංචාරය කිරීමට අවසර ලබාදීමටත් යළි පැමිණීමේදී සති දෙකක නිරෝධායනයකට යටත්වීම අවලංගු කිරීමටත් අද තීරණය කළා.

බොලිවියාවේ ජනාධිපතිනියටද කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි අද අනාවරණ වූ අතර ඇය සැලකෙන්නේ දකුණු අමෙරිකානු කලාපයෙන් කොරෝනා වෛරසයට ගොදුරු වූ දෙවන රාජ්‍ය නායකයා ලෙසයි.

එමෙන්ම ඉරානයෙන් යළි වතාවක් කොරෝනා රෝගීන් වාර්තා වන තත්ත්වයක් මතුව ඇතැයිද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.