පොඩි ලැසීට ඇප හම්බෙයි

බූස්ස බන්ධනාගාරයේ දී බන්ධනාගාර කොමසාරිස්වරයා ඇතුලු උසස් නිලධාරීන් කිහිපදෙනෙකුට ප්‍රසිද්ධියේ මරණ තර්ජන එල්ල කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජික අරුමාහන්දි ජනිත් මධුසංක හෙවත් පොඩි ලැසීට අධිචෝදනා භාර දී තිබෙනවා.

ඒ, ගාල්ල මහාධිකරණ විනිසුරු කාවින්ද්‍යා නානායක්කාර හමුවට සැකකරු අද (17) ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

හෙරොයින් සහ ගිනි අවි ළඟ තබාගැනීම මෙන්ම මනුෂ්‍ය ඝාතන ඇතුලු අපරාධ රැසක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටියදී 2020 වසරේ ජූනි 26 වනදා සැකකරු මෙලෙස බන්ධනාගාර නිලධාරීන්ට මරණ තර්ජන සිදුකර තිබුණා.

අධිචෝදනා ගොනුකිරීමෙන් අනතුරුව විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතීඥවරුන් කරන ලද ඇප ඉල්ලීම සළකා බැලූ මහාධිකරණ විනිසුරුවරිය විත්තිකරුට රුපියල් 50,000 ක මුදල් ඇපයක් සහ රුපියල් ලක්ෂ පහ බැගින් වූ ශරීර ඇප හතරක් නියම කළා.

නඩුව යළි ලබන වසරේ ජනවාරි 31 වනදා දක්වා කල් තැබීමටයි නියෝග කෙරුණේ.