ඩෙංගු උණ යනු ඩෙංගු වෛරසය ආසාදනය වීමෙන් ඇතිවන, මදුරුවන් (විශේෂයෙන් Aedes aegypti සහ Aedes albopictus) මාර්ගයෙන් ව්‍යාප්ත වන රෝගයකි. මෙය කල්තියා හඳුනාගෙන නිවැරදි ලෙස වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වීමෙන් රෝගය නිසා ඇති විය හැකි සංකුලතා වලක්වා ගන්න පුළුවන්.
ඩෙංගු අසාදනය නිසා ඇතිවන රෝග තත්ත්වයන් ඉතා විශාල පරාසයක් තුළ විහිදෙන අතර සමහර පුද්ගලයන් කිසිම රෝග ලක්ෂණයක් නොපෙන්වන අතර තවත් කොටසකට රෝග ලක්ෂණ ඇති වනවා.
රෝග ලක්ෂණ සහිත අයගෙන් වැඩි ප්‍රමාණයකට සාමාන්‍ය වයිරස් උණ තත්ත්වය, ඩෙංගු උණ හෝ අසාමාන්‍ය රෝග ලක්ෂණ සහිත ඩෙංගු රක්තපාත උණ තත්ත්වයක් ඇතිවිය හැක.
ප්‍රධාන සහ සාමාන්‍ය රෝග ලක්ෂණ
වෛරසය ශරීරගත වී දින 4-10ත් අතර කාලය තුළ සාමාන්‍යයෙන් පහත ලක්ෂණ මතු විය හැක:
- තද උණ: එකවරම තදින් උණ (104°F / 40°C දක්වා) හටගැනීම.
- තද හිසරුදාව: විශේෂයෙන් ඇස් පිටුපස ඇති වන අධික වේදනාව.
- තද ඇඟපත සහ හන්දිපත් වේදනාව: මෙය කෙතරම් වේදනාකාරීද යත් ඇතැම් විට “Breakbone fever” ලෙසද හඳුන්වයි.
- වමනය සහ වමනය යාමට කැවීම: ආහාර රුචිය සම්පූර්ණයෙන්ම අඩුවීම.
- සම මත ලප/රෑෂ් (Skin Rashes): උණ හටගෙන දින කිහිපයකට පසු සම මත කුඩා රතු පැහැති ලප මතු වීම.
- අධික ක්ලාන්තය සහ මහන්සිය.
ඩෙංගු රක්තපාත උණ
උණ බැස යන අවස්ථාවේදී (සාමාන්‍යයෙන් උණ වැළඳී දින 3-7ත් අතර) රෝගියා සංකූලතා දෙසට ගමන් කිරීමේ අවදානමක් පවතී. පහත දැක්වෙන අවදානම් ලක්ෂණ එකක් හෝ ඇත්නම් වහාම රෝහල් ගත විය යුතුය:
- අධික බඩේ කැක්කුම: නිතර පවතින තද බඩේ වේදනාව.
- නොනවත්වා වමනය පැවතීම: (පැය 24ක් තුළ අවම වශයෙන් 3 වතාවක්වත් වමනය යෑම).
- ලේ ගැලීම් තත්ත්ව: විදුරුමසින්, නාසයෙන් ලේ ගැලීම හෝ සම යට රතු/දම් පැහැති ලප ඇතිවීම.
- වමනය හෝ මළපහ සමඟ ලේ පිටවීම: (මළපහ තද කළු පැහැයෙන් පිටවීම).
- අධික ලෙස නින්ද යාම, අලස බව හෝ නොසන්සුන් බව.
- ශ්වසන අපහසුතා: හුස්ම ගැනීමේ අපහසුව.
උණ හටගෙන දින 2කට වඩා පවතී නම් හෝ ඉහත සඳහන් කළ යම් අවදානම් ලක්ෂණයක් මතු වේ නම් වහාම සුදුසුකම් ලත් වෛද්‍යවරයෙකු හමුවීම අත්‍යවශ්‍ය වනවා.

