වර්ෂාව සමඟ යළිත් ඩෙංගු අවධානම ඉහළ යයි

පවතින වැසි සහිත කාලගුණ තත්ත්වයත් සමඟ ඩෙංගු මදුරුවන්ගේ ව්‍යාප්තිය ඉහළ යාමේ අවදානමක් පවතින බැවින්, මදුරුවන් බෝවිය හැකි ස්ථාන කඩිනමින් ඉවත් කිරීමට කටයුතු කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය ජනතාවගෙන් ඉල්ලා සිටිනවා.

නිසි පරිදි මදුරු මර්දන කටයුතු සිදු නොකළහොත් ඉදිරියේදී යළිත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතින බවයි එහි වැඩබලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නංගර මහතා පෙන්වා දෙන්නේ.

විශේෂයෙන්ම, නිවෙස් සහ පරිශ්‍රවල ජලය රැඳී පවතින ස්ථාන පරීක්ෂා කර ඒවා ඉවත් කිරීමට හෝ ජලය රැඳීම වැළැක්වීමට කටයුතු කරන ලෙස ජනතාවට දැනුම් දෙනවා.

මේ වැඩිදුරටත් අදහස් දැක්වූ වෛද්‍ය කපිල කන්නංගර මහතා,

“මේ වැසි සමයත් සමඟ ඩෙංගු රෝගය වැඩිවීමේ අවදානමක් තිබෙනවා. වැසි සමයත් සමඟ ඩෙංගු රෝගය වැඩිවන ස්වභාවය අපි ඉතිහාසය පුරාම දැකලා තියෙනවා. නමුත් අපි මේ කාලය තුළදී සෑම දිස්ත්‍රික්කයකම කීට සමීක්ෂණ සිදුකරගෙන යනවා. දැනට පාලනය කර ඇති තත්ත්වය එලෙසම පවත්වාගෙන යන්න නම් අපට ජනතාවගෙන් විශාල දායකත්වයක් අවශ්‍ය වෙනවා. නිරිතදිග මෝසම් කාලයේදී ඇති වූ අධි අවදානම් සහ අධි වසංගත තත්ත්වය පාලනය කරගැනීමට හැකිවුණේ ජනතාව ලබාදුන් සහයෝගය නිසයි. ඒ නිසා මේ අවස්ථාවේදීත් පවතින තත්ත්වය පවත්වාගෙන යාමට නම්, අපේ මරණ සහතිකය අප විසින්ම ලියාගන්නා තත්ත්වයක් ඇති නොවන පරිදි සියලුදෙනා එක්ව ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන ඉවත් කිරීම අනිවාර්යයෙන්ම දැන් සිටම කළ යුතුයි. එසේ නොකළහොත් ඉදිරියේදී නැවතත් ඩෙංගු අධි වසංගත තත්ත්වයක් ඇතිවීමේ අවදානමක් පවතිනවා,”