අදින් ඇරඹෙන ICC 2026 විස්සයි20 ලෝක කුසලානය

ICC 2026 විස්සයි20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය අද (7) ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

මෙවර තරඟාවලිය ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සම සත්කාරකත්වය යටතේ පැවැත්වෙනවා.

තරගාවලිය ආරම්භ කරමින් අද තරග 3ක් පැවැත්වීමට සැලසුම් කර තිබෙනවා.

ඉන් පළමු තරගය පාකිස්තානය හා නෙදර්ලන්තය අතර කොළඹ SSC ක්‍රීඩාංගණයේ දී පැවැත්වෙන අතර, දිවා තරගයක් වන එය අද පෙ.ව. 11ට ආරම්භවීමට නියමිතය.

අනෙක් තරග දෙක ඉන්දියාවේදී පැවැත්වෙනවා, එහිදී බ.ඉ. කොදෙව්වන් ස්කොට්ලන්තයට එරෙහිව කොල්කටාහිදීද, සත්කාරක ඉන්දියාව අමෙරිකාවට එරෙහිව මුම්බායිහිදීද තරග වැදීමට නියමිතව ඇත.

ශ්‍රී ලංකාව මුහුණදෙන පළමු තරගය අයර්ලන්තයට එරෙහිව හෙට (8) ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ දී පැවැත්වේ.

තරගාවලියේ වැඩි තරග සංඛ්‍යාවක් ඉන්දියාවේ පැවැත්වෙන අතර, එම තරග චෙන්නායි, කොල්කටා, දිල්ලි, අහමදාබාද් හා මුම්බායි නගරවල පැවැත්වේ.

ශ්‍රී ලංකාවේ තරග කොළඹ හා පල්ලෙකැලේ ක්‍රීඩාංගණ 3කදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.

අවසන් මහා තරගය ඇතුළුව සමස්ත තරගාවලිය තරග 55කින් සමන්විත අතර, ඉන් තරග 20ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වීමට සැලසුම් කර ඇත.

කෙසේ නමුත් අවසන් පූර්ව වටයට හා අවසන් මහා තරගයට පාකිස්තානය සුදුසුකම් ලබාගත හොත් එම තරග සංඛ්‍යාව 22ක් දක්වා ඉහළ යනු ඇත. 

කණ්ඩායම් 20ක සහභාගිත්වයෙන් මෙවරද පැවැත්වෙන මෙම තරගාවලියේ ‘B’ කාණ්ඩයෙන් ශ්‍රී ලංකාව තරගවදින අතර, එම කාණ්ඩයට ඔස්ට්‍රේලියාව, අයර්ලන්තය, ඕමානය සහ සිම්බාබ්වේ ඇතුළත්ව වනවා.