ඕස්ට්‍රේලියාවේ අවුරුදු 16ට අඩු ළමුන්ට YouTube ත් තහනම් වෙයි

ඕස්ට්‍රේලියාවේ වයස අවුරුදු 16 ට අඩු ළමුන් සඳහා ක්‍රියාත්මක කිරීමට නියමිත සමාජ මාධ්‍ය තහනමට YouTube සමාජ මාධ්‍යත් ඇතුලත් කිරීමට සැලසුම් කර තිබෙනවා.

තහනම යටතේ, නව යොවුන් වියේ පසුවන්නන්ට YouTube වීඩියෝ නැරඹීමට හැකි වන නමුත් අන්තර්ගතය උඩුගත කිරීමට හෝ එහි අන්තර් ක්‍රියා කිරීමට අවශ්‍ය ගිණුමක් පවත්වා ගැනීමට අවසර ලැබෙන්නේ නැහැ.

TikTok, Instagram, Facebook, X සහ Snapchat භාවිතය අවුරුදු 16ට අඩු ළමයින්ට තහනම් කිරීම ලබන දෙසැම්බර් මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව එම සමාජ මාධ්‍ය වල මේ වන විට පවතින අවුරුදු 16ට අඩු දරුවන්ගේ ගිණුම් අක්‍රිය කිරීමට සහ ඕනෑම නව ගිණුම් තහනම් කිරීම ඒ හරහා සිදු වනු ඇත.

ෆෙඩරල් සන්නිවේදන අමාත්‍ය අනිකා වෙල්ස් පවසා ඇත්තේ සමාජ මාධ්‍ය සඳහා ස්ථානයක් තිබුණද, “ළමුන් ඉලක්ක කරගත් කොල්ලකාරී ඇල්ගොරිතම සඳහා ස්ථානයක් නොමැති” බවයි.

“අපට සාගරය පාලනය කළ නොහැකි නමුත් අපට මෝරුන් පාලනය කළ හැකිය. ඒ නිසා ඕස්ට්‍රේලියානු දරුවන්ගේ යහපැවැත්ම සඳහා සැබෑ සටනක් වන විට නීතිමය තර්ජනවලට අපි බිය නොවන්නෙමු,” යනුවෙන්ද ඇය පවසා තිබෙනවා.