ඉරාන – ඊශ්‍රායල ගැටුමෙන් මිය ගිය අයට ඉරානයේ රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක්

ඊශ්‍රායලය සමඟ දින 12ක් පැවති ගැටුමේදී මියගිය හමුදාපතිවරුන් සහ න්‍යෂ්ටික විද්‍යාඥයින් ඇතුළු 60 දෙනෙකු පමණ වෙනුවෙන් ඉරානය විසින් රාජ්‍ය අවමංගල්‍යය උත්සවයක් පවත්වා තිබෙනවා.

මෙහි දී කළු ඇඳුමින් සැරසුණු ශෝකජනක විශාල පිරිසක් සටන් පාඨ කියමින්, ඉරාන ධජ ලෙළවමින් සහ මියගිය අයගේ පින්තූර රැගෙන ගිය බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

මෙම අවමංගල්‍ය උත්සවයට ඉරාන ජනාධිපති මසූඩ් පෙසෙෂ්කියන් සහ රටේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ උපදේශක රියර් අද්මිරාල් අලි ෂම්කානි ඇතුළු ප්‍රමුඛ පුද්ගලයින් රැසක් සහභාගී වී තිබෙනවා.

මෙයට සහභාගී වන ලෙස රජය විසින් ජනතාවගෙන් ඉල්ලීමක් ද කර තිබූ අතර ඒ සඳහා නොමිලේ ප්‍රවාහන පහසුකම් ද සපයා දී තිබෙනවා.

එසේම අද කාර්යාල සේවකයන් සඳහා නිවාඩු දිනයක් ලෙස ද ප්‍රකාශ කර තිබෙනවා.

මෙලෙස අවසන් කටයුතු සිදු කළ අය අතර ඉරානයේ ඉහළම හමුදා නිලධාරියෙකු වූ ඉරානයේ සන්නද්ධ හමුදාවන්හි මාණ්ඩලික ප්‍රධානියා වූ මොහොමඩ් බගෙරි ද වනවා.

සමස්තයක් වශයෙන් ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාර වලින් ඉරානයේ පුද්ගලයින් 627 දෙනෙකු මිය ගිය බවයි ඉරාන බලධාරීන් සඳහන් කරන්නේ.