උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම්

පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය විසින් එළඹෙන උත්සව සමය වෙනුවෙන් විශේෂ වැටලීම් සහ විමර්ශන වැඩසටහනක් ආරම්භ කර තිබෙනවා.

එය දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට නියමිත අතර එම විශේෂ වැඩසටහන අප්‍රේල් මස 25 දින දක්වාම ක්‍රියාත්මක කරන බවයි එම අධිකාරිය පවසන්නේ.

ප්‍රධාන තොග අළෙවිසැල් සහ ගබඩා පරික්ෂා කරමින් කල් ඉකුත් වූ හා දත්ත වෙනස් කළ භාණ්ඩ වෙළඳපොලට පැමිණීම වැලැක්වීමට මේ හරහා ක්‍රියා කෙරෙනවා.

එසේම උත්සව සමයේ වෙළඳපොලේදී පාරිභෝගිකයන්ට සිදුවිය හැකි අසාධාරණයන් සහ ගැටලු මඟහැරවීම සඳහා කටයුතු කරන ලෙස නිලධාරින්ට උපදෙස් දී තිබෙනවා.

මේ කාල සීමාවේදී සුපිරි වෙළඳසැල් ඇතුළු සිල්ලර වෙළඳසැල්, සේල් හා ජංගම ව්‍යාපාරික කටයුතු සම්බන්ධයෙන් වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතයි.

අත්‍යාවශ්‍ය භාණ්ඩවලට අමතරව ඇඳුම් පැළඳුම්, කල්පවතින භාණ්ඩ සහ විදුලි උපකරණවලටද මෙම කාල සීමාව තුළ වැඩි ඉල්ලුමක් පවතින බැවින් එවැනි වෙළඳසැල් සම්බන්ධව ද දැඩි අවධානයක් යොමු කරන බවයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය පවසන්නේ.