වේප් භාවිතා කලොත් වැඩ වරදී

වේප් හෙවත් ඉලෙක්ට්‍රොනික (e) සිගරට්ටුව නීතිවිරෝධී බව මුදල් කාරක සභාවේදී අනාවරණය වී තිබෙනවා.

එය නියාමනය සඳහා මේ වනවිට වැඩපිළිවෙලක් සකස් කර ඇති බවත් ඉලෙක්ට්‍රොනික සිගරට් භාවිත කරන පුද්ගලයින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත් සුරා බදු දෙපාර්තමේන්තුව සඳහන් කරනවා.

මේ අතර, සිගරට් සඳහා පනවා ඇති ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වන දා සිට 45%ක් දක්වා ඉහළ දැමීමට තීරණය කර ඇතැයි මූල්‍ය ප්‍රතිපත්ති දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්, ආචාර්ය කපිල සේනානායක මහතා පවසනවා.

“සුරාබදු, VAT, SSCL සහ බදු වර්ග කිහිපයක් තියෙනවා. දැනට 40%ක් තියෙන ආයතනික ආදායම් බද්ද අප්‍රේල් මස 1 වනදා සිට 45%ක් දක්වා වැඩිවෙනවා. 2018 වගේ සිගරට් විකුණුම බිලියන 3.1ක්. ඒක තමා අඩුවෙලා තියෙන්නේ බිලියන 2ක් වගේ.”

රජයේ මුදල් පිළිබඳ කාරක සභා සභාපති ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා මෙහිදී ප්‍රශ්න කර සිටියේ ලංකාවේ සිගරට් බද්ද එන්න එන්න අඩුවෙන බවක් පෙනී යන බවය.

එමෙන්ම දුම්වැටි සඳහා නිෂ්පාදන බද්ද ඉහළ දැමීමට ගත් පියවරයන් සාධාරණීකරණය කරන ලෙස ද හර්ෂ ද සිල්වා මහතා මෙහිදී උපදෙස් ලබාදුනි.

ප්‍රශ්නය – සිගරට් එකක ගෝලීය මිණුම් ලකුණ කුමක් ද ? 75%ක් කියලා තමා මෙතෙන තියෙන්නේ.”

“සභාපතිතුමා මේකේ රජය සහ සමාගම අතර මිල තීරණය කරන්න ක්‍රමයක් නෑ දැනට. අපි බද්ද දැම්මට මිල තීරණය කරන්නේ ආයතනය. ඒ හේතුව නිසා මේ ගෝලීය මිණුමට අපිට යන්න බැරිවෙලා තියෙන්නේ. 66% – 71% වගේ මට්ටමක අපි ඉන්නේ.”