අමෙරිකාවේ ආරක්ෂක රැකවල් ලිහිල් කෙරේ

අමෙරිකාවේ විරෝධතා මැඩලීම සඳහා පනවා තිබූ ආරක්ෂක පියවර ලිහිල් කිරීමට ජනපති ට්‍රම්ප් පියවර ගෙන තිබේ.
විදෙස් වාර්තා පවසන්නේ, වොෂිංටන් නගරයට කැඳවා තිබූ ජාතික ආරක්ෂක බලකාය ඉවත් කිරීමට අමෙරිකා ජනාධිපතිවරයා නියෝග කර ඇති බවය.

නිරායුධ කළු ජාතිකයෙකු වූ ජොර්ජ් ෆ්ලොයිඩ් අමෙරිකා පොලිස් අත්අඩංගුවේ සිටියදී ඝාතනයට ලක් වීමත් සමග එරට තුළ විරෝධතා රැල්ලක් ඇති විය.

ඇඳිරි නීතිය පැනවීම, ජාතික ආරක්ෂක බලකාය කැඳවීම සහ හමුදාව කැඳවීම වැනි ක්‍රියාමාර්ග ගැනීමට සිදු වූයේ එම විරෝධතා පාලනය කිරීමටය.

කෙසේ නමුත් දින 12 කට අධික සංඛ්‍යාවක් වොෂිංටන් ඇතුළු අමෙරිකාවේ නගර රැසක ක්‍රියාත්මක වූ විරෝධතා මේ වනවිට සැළකිය යුතු මට්ටමකට පාලනය වී ඇති බවට එරටින් ලැබෙන වාර්තා පවසයි.

අමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් එරට පනවා ඇති ඇඳිරි නීතිය ඉවත් කිරීමට සහ වොෂින්ටන් වෙත කැඳවා තිබූ ජාතික ආරක්ෂක බලකාය ඉවත් කිරීමට නියෝග කර ඇත්තේ එම තත්ත්වය හේතුවෙනි.

ෆ්ලොයිඩ් ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන ලෙස චෝදනා ලැබ සිටින අමෙරිකා පොලිස් නිලධාරී ඩෙරෙක් චාවින් සේවයෙන් පහ කර ඝාතන චෝදනා ගොනු කර තිබේ.

මීට අමතරව එම ස්ථානයේ සිටි තව ත් නිලධාරීන් තිදෙනෙකු ද සේවයෙන් ඉවත් කර ඇති අතර ඔවුන්ට එරෙහිව එල්ල වී ඇති චෝදනා වන්නේ ඝාතනයකට ආධාර කිරීම සහ අනුබල දීමයි.

මේ අතර ජෝර්ජ් ෆ්ලොයිඩ්ගේ ඝාතනයට අමෙරිකාවේ මතු වූ විරෝධතාවලට සමගාමීව ලොව පුරා විවිධ රටවල ද විරෝධතා රැසක් ක්‍රියාත්මක වේ.

බ්‍රිතාන්‍යයේ බ්‍රිස්ටල්හිදී ඊයේ පැවැති විරෝධතාවලදී 17 වන සියවසේ ප්‍රමුඛ වහල් වෙළෙන්දෙකු වූ එඩ්වඩ් කොල්ස්ටන්ගේ පිළිරුවක් විනාශ කර දමා ඇත.

එරට තුළ ද විරෝධතාකරුවන් සහ පොලීසිය අතර ගැටුම් ඇති වී තිබෙන බවට විදෙස් වාර්තාවල සඳහන් ය.

මේ අතර බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය බොරිස් ජොන්සන් ට්විටර් පණිවුඩයක් මගින් පවසන්නේ, විරෝධතා “මැරයන් විසින් යටපත් කර ඇති බවයි”.

මැන්චෙස්ටර්, නොටිංහම්, එඩින්බරෝ වැනි නගර රැසක විරෝධතා පැවැත්විය