මුඛ පිළිකා හඳුනා ගැනීමට ලොලිපොප් එකක්

මේ වෙනකොට පිළිකාව කියන දේ හරිම සුලබ දෙයක් වෙලා ඉවරයි. කෙටියෙන් කියනවා නම් බ්‍රිතාන්‍ය රජ පවුලේත් සාමාජිකයන් දෙදෙනෙක්ම මේ පිළිකා රෝගයෙන් මේ වෙනකොට පීඩා විඳිනවා.

පිළිකාව මුල් අදියරයේ දී හඳුනා ගත්තොත් ප්‍රතිකාර මාලාවක් ඔස්සේ යමින් පූර්ණ සුවය ලබා ගන්න පුළුවන්. ඒ නිසාම විද්‍යාඥයන් උත්සාහ කරනවා මේ පිළිකාව ඉක්මනින් සහ පහසුවෙන් අඳුර ගන්න ක්‍රම හොයන්න.

ඒ ගමනේ දී තමයි එයාල මේ මුඛ පිළිකා හඳුනා ගැනීම සඳහා ලොලිපොප් එකක් නිෂ්පාදනය කිරීමේ අත්හදා බැලීම් සිදු කරමින් ඉන්නේ.

මේ වන විට තියෙන ක්‍රමවේද වලට අනුව නම් මුඛ පිළිකා හඳුනා ගන්න නාසය හෝ මුඛය හරහා කැමරාවක් සහ තවත් සුදුසු උපකරණයක් දාල පටක සාම්පල ආදිය ලබා ගන්නවා. ඒ වුනත් මේ ක්‍රමවේදය ඉතාම වේදනාකාරී වගේම මෙහෙම පටක සාම්පල ලබා ගන්න පුහුණු වෛද්‍යවරයෙක් අනිවාර්යය වෙනවා.

ඒ නිසාම තමයි මෙහෙම විවිධ රසායනික ද්‍රව්‍ය භාවිතා කරලා ලොලිපොප් එකක් නිෂ්පාදනය කරන්න එයාල පියවර අර ගෙන තිබෙන්නේ.

මෙහි දී මූලික වශයෙන් භාවිත කරන්නේ බර්මින්හැම් විශ්ව විද්‍යාලය විසින් පර්යේෂණ කටයුතු සඳහා යොදා ගැනීම ආරම්භ කරන ලද smart hydrogel නම් රසායන ද්‍රව්‍යක්. රෝගීන් මේ රසායන ද්‍රව්‍ය සහිත ලොලිපොප් එක උරන කොට එයාගේ තියෙන ඛේටය සහ මුඛයේ තියෙන ප්‍රෝටීන, ලවන වගේ දේවල් මේ gel එක විසින් රඳවා ගන්නවා.

පස්සේ මේ gel එක රසායනාගාර පරීක්ෂණ සඳහා යවලා එයාට පිළිකාවක් තියෙනවද නැත්ද කියලා හඳුනා ගන්න පුළුවන් කියලා තමයි මේ සම්බන්ධයෙන් පරියේෂණ කරන විද්‍යාඥයන් කියන්නේ.

ඒ වගේම මෙම පිළිකා පර්යේෂණ ව්‍යාපෘතිය සඳහා ඇමරිකානු ඩොලර් 441,035ක් වෙන් කරලා තියෙන බව තමයි සඳහන් වෙන්නේ.

smart hydrogel