ඉරාන විදේශ අමාත්‍යවරයා ජනපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් (Hossein Amir-Abdollahian) මහතා සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ (20) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේදී පැවැත්වුනා.

මෙහිදී ගාසා තීරයේ ගැටුම් පිළිබඳව අදහස් පළ කළ ජනාධිපතිවරයා සටන් විරාමයක් ඇති කර සාම ගිවිසුමකට එළඹීමේ අවශ්‍යතාව ඉරාන විදේශ අමාත්‍යවරයා ‍හමුවේ අවධාරණය කළ අතර වසර 5ක් තුළ පලස්තීන රාජ්‍යය පිහිට විය යුතු බවත් එය පිහිටුවීමේදී ඊශ්‍රායල රාජ්‍යයේ ආරක්ෂාවට තර්ජනයක් සිදු නොවිය යුතු බවත් සඳහන් කළා.

එමෙන්ම කිසිදු සාම ගිවිසුමක් ඒකපාර්ශ්වික නොවිය යුතු බවත් දෙපාර්ශ්වයටම පිළිගත හැකි වන පරිදි සකස් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.

ඉන්දියන් සාගරය තුළ පර්සියානු ගල්ෆ් කලාපයේ ඇති වැදගත්කම අවධාරණය කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කලාපයේ නාවික ගමනාගමනයේ නිදහස තහවුරු කිරීමට ශ්‍රී ලංකා රජය කැපවී සිටින බව ද පැවසීය.

ඉරාන විදේශ අමාත්‍ය හුසේන් අමීර්-අබ්දුල්ලාහියන් මහතා සඳහන් කළේ දෙරටේ සංස්කෘතික සබඳතා මෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීමටත් ඉරාන රජය කැපවී සිටින බවයි.

ඉරාන- ශ්‍රී ලංකා ආර්ථික සහයෝගිතාව සඳහා නව මංපෙත් විවර කිරීම වෙනුවෙන් ශ්‍රී ලංකා රජය කටයුතු කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙහිදී වැඩිදුරටත් පැහැදිලි කරනු ලැබුවා.