ERS-2 චන්ද්‍රිකාව ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටේ

පුරෝගාමී යුරෝපීය චන්ද්‍රිකාවක් වන ERS-2 නමැති චන්ද්‍රිකාව ඉදිරි පැය කිහිපය තුළ පෘථිවියට කඩා වැටීමට නියමිත බවට වාර්තා වෙනවා.

1995 දී දියත් කරන විට අති නවීන නිරීක්ෂණ වේදිකාවක් වූ මෙය 2011 වසරේ සිට එහි මෙහෙයුම නිමා කරමින් කඩා වැටීම ආරම්භ කර තිබෙනවා.

යුරෝපා අභ්‍යවකාශ ආයතනය නිවේදනය කරන්නේ ටොන් දෙකක් පමණ බර ඇති මෙම චන්ද්‍රිකාවේ වැඩි කොටසක් පෘථිවි වායුගෝලයට ඇතුළු වන විට ගිනි ගෙන විනාශ වන බවයි.

මෙය පෘථිවියේ ඕනෑම තැනකට වැටිය හැකි නමුත් පෘථිවි පෘෂ්ඨයෙන් වැඩි ප්‍රමාණයක් සාගරයෙන් වැසී ඇති හෙයින් බොහෝ විට මෙය සාගරයට කඩා වැටීමට ඉඩ ඇති බවයි ඔවුන් සඳහන් කරන්නේ.

මෙය ගිනි ගෙන දැවීමේ දී හෝ කඩා වැටීමේ දී වායුගෝලයට කිසිදු අහිතකර ද්‍රව්‍යක් නිකුත් නොවන බවට අභ්‍යවකාශ ආයතනය තහවුරු කර තිබෙනවා.