ඉන්දියන් සාගරය ආශ්රිත රටවල් අතර විශ්වාසය ගොඩනඟා ගැනීම සහ දැනුවත්භාවය වැඩිදියුණු කර ගැනීම මඟින් ආරක්ෂිත සහ ස්වාධීන ඉන්දියන් සාගරයක් නිර්මාණය කරගත හැකි බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කරනවා.
ගෝලීය බලවතුන් තම ඉරණම තීරණය කරන තෙක් බලා නොසිට තමන්ගේ ගමන් මඟ සකසා ගැනීමට ඉන්දියන් සාගරය ආශ්රිත රටවලට හැකියාව පවතින බවයි ජනාධිපතිවරයා පෙන්වා දෙන්නේ.
ඕස්ට්‍රේලියාවේ පර්ත් නුවරදී අද (09) ආරම්භ වූ 7 වැනි ඉන්දීය සාගර සමුළුවේ ප්‍රධාන දේශනය සිදු කරමිනුයි ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ.
2050 වන විට ඉන්දියාව, ඉන්දුනීසියාව වැනි රටවල දළ දේශීය නිෂ්පාදිතය අට ගුණයකින් වැඩි වන බවට පුරෝකථනය කර ඇති බවත්, ඒ වෙනුවෙන් අවකාශ සැලසීම සඳහා රටවල් සම්බන්ධ කරන යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ අවශ්‍යතාවයත් හෙතෙම මෙහි දී පෙන්වා දෙනු ලැබුවා.
ඉන්දියන් සාගර කලාපයේ ස්ථාවරත්වය පවත්වාගෙන යාමේ වැදගත්කම පෙන්වා දුන් ජනාධිපතිවරයා දේශගුණික විපර්යාසවලට විසඳුම් සෙවීම පිළිබඳව ද ඒ හා සමාන අවධානයක් යොමු කළ යුතු බව ද අවධාරණය කරනු ලැබුවා.
ඉන්දියන් සාගරයේ ස්ථාවරත්වය වෙනුවෙන්, වසර 5ක් තුළ නිදහස් ස්වාධීන පලස්තීන රාජ්‍යය පිහිටුවීම සහ ඊශ්‍රායල් රාජ්‍යයේ ආරක්ෂාව සහතික කිරීම යන ක්‍රියාමාර්ග ඔස්සේ ගාසා තීරයේ යුද ගැටුම් කඩිනමින් අවසන් කිරීමේ අවශ්‍යතාවය ද ජනාධිපතිවරයා මෙහි දී සඳහන් කළා.
ඉන්දියාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය සහ ඕස්ට්‍රේලියානු රජය සමඟ එක්ව ඉන්දීය පදනම විසින් සංවිධානය කර තිබූ මෙවර සමුළුවේ තේමාව වන්නේ “ස්ථාවර සහ තිරසර ඉන්දියානු සාගරයක් කරා” යන්නයි.

