අයිෆල් කුලුනේ කොටස් වලින් සැකසු ඔලිම්පික් පදක්කම්

2024 වසරේ ප්‍රංශයේ දී පැවැත්වීමට නියමිත ඔලිම්පික් තරඟාවලියේ පදක්කම් සැකසීම සඳහා අයිෆල් කුලුන අලුත්වැඩියා කරන අවස්ථාවේදී ඉවත් කරන ලද යකඩ කොටස් යොදා ගෙන තිබෙනවා.

ඔලිම්පික් සංවිධායක මඩුල්ල සඳහන් කරන්නේ මෙවර ඔලිම්පික් ජයග්‍රාහක ජයග්‍රාහිකාවන්ට පැරිසියේ ඉතිහාසයෙන් කොටසක් ඔවුන් සමඟ ගෙන යෑමට අවස්ථාව හිමිවන බවයි.

ප්‍රංශ ස්වර්ණාභරණ නිර්මාණකරුවෙක් වන Chaumet විසින් මෙවර ඔලිම්පික් පදක්කම design කර තිබෙනවා.

එහි දී මෙම පදක්කම්වල මැද පිහිටි ෂඩාස්රාකාර ව්‍යුහය සඳහා අයිෆල් කුලුනේ කොටස් යොදා ගෙන ඇති අතර සම්ප්‍රදායික පදක්කම්වල ආකාරයටම මේවායේ ද අනික් පැත්තේ ජයග්‍රහණයේ ග්‍රීක දේවතාවිය වන නයික්ගේ රූපයක් සටහන් කර තිබෙනවා.

කෙසේවෙතත් ඉතිහාසයේ පළමු වරට මෙවර ඔලිම්පික් සහ පැරාඔලිම්පික් යන දෙකෙහිම පදක්කම් එකම ආකාරයකට සකස් කර තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් 2024 ඔලිම්පික් කමිටුවේ ප්‍රධානි ටෝනි එස්ටන්ගුවෙට් පැවසුවේ ඒ හරහා ඔලිම්පික් සහ පැරාඔලිම්පික් යන දෙකම එක සමාන ලෙස සලකන බවයි.