අයිස්ලන්තයේ Reykjanes ගිනි කන්ද යළි සක්‍රිය වෙයි

නිරිතදිග අයිස්ලන්තයේ Reykjanes අර්ධද්වීපයේ පිහිටි ගිනි කන්ද යළිත් සක්‍රිය වී තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ එය පුපුරා යෑමෙන් ඇති වූ ලාවා ධාරා මීටර් 80ක් පමණ ඉහළට විහිදෙන බවයි.

පසුගිය දෙසැම්බර් මාසයේ සිට මේ දක්වා කාලයේ දී මෙම ගිනි කන්ද පුපුරා ගිය තුන්වන අවස්තාව මෙය වනවා.

ගිනිකන්ද ආශ්‍රිත පොළොවේ සිට විහිදෙන කිලෝමීටර් තුනක් පමණ දිග පැලුම් දක්නට ලැබෙන අතර ඒ සමහරක් පැලුම් වලින් දීප්තිමත් තැඹිලි උණු කළ පාෂාණ ද පිටතට පැමිණෙන බවයි එරට බලධාරීන් සඳහන් කරන්නේ.

එසේම එම ප්‍රදේශයේ නිවාස උණුසුම් කිරීම සඳහා භාවිතා කරන භූතාපජ ජලය රැගෙන යන නලයක් හරහා ලාවා ගලා යාමෙන් නළය පුපුරා යාම හේතුවෙන් අයිස්ලන්තයේ සිවිල් ආරක්ෂණ සහ හදිසි කළමනාකරණ දෙපාර්තමේන්තුව විසින් එම ප්‍රදේශයේ හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

මේ හේතුවෙන් ප්‍රදේශයේ 20,000 කට වැඩි පිරිසකට උණු වතුර පහසුකම නොමැතිව ගොස් ඇති අතර එම නලය යථා තත්ත්වයට පත් කිරීමට තවත් දින තුනක් පමණ ගත වනු ඇති බවයි බලධාරීන් සඳහන් කරන්නේ.