දුම්රිය භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 80%කින් ඉහළට

එළඹෙන පෙබරවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි දුම්රියෙන් පාර්සල් සහ භාණ්ඩ ප්‍රවාහන ගාස්තු 80% කට වැඩි ප්‍රතිශතයකින් ඉහළ දැමීමට සිදු වනු ඇති බව දුම්රිය දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී (වාණිජ) චන්ද්‍රසේන බණ්ඩාර මහතා පවසනවා.

ඒ අනුව පාර්සලයක් වෙනුවෙන් මීට පෙර අය කළ අවම ගාස්තුව වන රුපියල් 50 ලබන පළමුවැනිදා සිට රුපියල් 150 දක්වා ඉහළ යනු ඇත.

කෙසේවෙතත් මෙම ගාස්තු සංශෝධනය සාමාන්‍ය පාර්සලයක් යවන පුද්ගලයෙක්ට අවම වශයෙන් බලපාන ආකාරයට සකසා ඇති බවයි චන්ද්‍රසේන බණ්ඩාර මහතා වැඩිදුරටත් සඳහන් කරන්නේ.

එසේම පාර්සලයේ වටිනාකම මත නව ගාස්තු ක්‍රමයක් ද මේ යටතේ හදුන්වා දී තිබෙනවා.

අදාළ නව ගාස්තු ක්‍රමය පහත පරිදි වේ,

ලොතරැයි ටිකට්, බෙහෙත් ද්‍රව්‍ය, ටයර්, වීදුරු, විදුලි සහ ඉලෙක්ට්‍රොනික උපකරණවල පාර්සලයේ වටිනාකම රුපියල් 1,000 හෝ ඊට අඩුනම් වටිනාකමට මුදල් අය නොකරන අතර පාර්සලයේ වටිනාකම රුපියල් 1000 සිට 5000 දක්වා වටිනාකමෙන් සියයට 1.5 ක ගාස්තුවක් අය කරනු ලබනවා.

පාර්සලයේ වටිනාකම රුපියල් 5000 සිට 10,000 දක්වා වටිනාකමින් සියයට 2.25 ද, පාර්සලයේ වටිනාකම රුපියල් 10,000 සිට 20,000 දක්වා වටිනාකමින් සියයට 3 ක ද, පාර්සලයේ වටිනාකම රුපියල් 20,000.00 ට වැඩි නම් සියයට 4.5 ක ද, අමතර ගාස්තුවක් අය කරයි.

එම භාණ්ඩලවලට අයත් නොවන වටිනාකම රුපියල් 10,000 ට වැඩි අනෙකුත් සියලුම භාණ්ඩ ඇතුළත් පාර්සල් සඳහා වටිනාකමෙන් සියයට 0.5 ක ගාස්තුවක් අය කරයි.