හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙක් ඊශ්‍රායල ප්‍රහාරයකින් මරුට

ඉස්ලාමීය හිස්බුල්ලා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ අණදෙන නිලධාරියෙකු වන විසාම් තවිල් (Wissam Tawil), දකුණු ලෙබනනයට එල්ල කරන ලද ඊශ්‍රායල ඩ්‍රෝන් ප්‍රහාරයකින් මිය ඇතැයි වාර්තා වෙනවා.

රොයිටර් පුවත් ඒජන්සිය සඳහන් කරන්නේ ඔහු ගමන් කළ මෝටර් රථයට එල්ල වූ මෙම ඩ්‍රෝන ප්‍රහාරය හේතුවෙන් මෙලෙස ජිවිතක්ෂයට පත් ව ඇති බවයි.

මෙම ප්‍රහාරය හේතුවෙන් ලෙබනනය ද ඊශ්‍රායල හමාස් යුද්ධයට එකතු වීමේ සම්භාවිතාවය ඉහළ යනු ඇති බවයි විචාරකයන් සඳහන් කරන්නේ.

මේ අතර මධ්‍යම ගාසා තීරයේ ඇති එකම රෝහල වන අල්-අක්සා රෝහල වසා දැමීමට ආසන්න තත්ත්වයේ පවතින බව එක්සත් ජාතීන්ගේ සංවිධානය අනතුරු ඇඟවීමක් කරනවා.

එම රෝහල අවට මේ වන විට ඉතා දරුණු සටන් පවතින බවත්, ඒ හේතුවෙන් දිනෙන් දින ඉහළ යන තුවාලකරුවන් සංඛ්‍යාවට සරිලන වෛද්‍ය පහසුකම් නොමැති බවත් එම රෝහල් කාර්යමණ්ඩලය සඳහන් කරනවා.

ඔවුන් පෙන්වා දෙන්නේ එම රෝහලේ මේ වන විට හදිසි ප්‍රතිකාර සේවයේ එක වෛද්‍යවරයෙක් පමණක් සහ, ශල්‍ය වෛද්‍යවරුන් දෙදෙනෙක් පමණක් ඉතිරිව ඇති බවයි.