බදු පැහැර හරින පිරිස් බදු දැල තුළට ගෙන එම අත්‍යවශ්‍යයි – මුදල් ඇමති

ආදායම් බදු ගෙවිය හැකි පුද්ගලයන් ලක්ෂ 10 ක ප්‍රමාණයක් මෙරට සිටියත්, බදු ගෙවීම සිදු කරන්නේ ලක්ෂ 5ක තරම් ප්‍රමාණයක් පමණක් බවයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය මහතා අවධාරණය කරන්නේ

මේ හේතුවෙන් වක්‍ර බදු අඩුකර සෘජු බදු අනුපාතය ඉහළ නංවා ගැනීමට නම් මෙම බදු ගෙවීම පැහැර හැර සිටින ලක්ෂ 5ක පමණ වන පිරිස බදු දැල තුළට ගෙන ඒමට අවශ්‍ය බව ඔහු පෙන්වා දෙනවා.

බදු ගෙවන්නෙකු යනු රටක ස්ථාවරත්වයකට පත්වූ ශක්තිමත් පුරවැසියකුය යන්න දියුණු රටවල පිළිගැනීම බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා මෙරට ජනතාවද එවැනි ආකල්පමය වෙනසක් ඇති කර ගැනීම රටේ සංවර්ධනය සඳහා ඉවහල් වන බව ද අමාත්‍යවරයා සඳහන් කළේය.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් අද (08) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි අමාත්‍යවරයා මේ බව පැවසුවේ.

එසේම TIN අංකය ක්‍රියාත්මක කිරීම පෙබරවාරි මස පළමු වන දා සිට ආරම්භ කිරීමට සූදානමක් පවතින බවද රාජ්‍ය අමාත්‍යවරයා මෙහිදී අනාවරණය කරනු ලැබුවා.