වැසි තත්ත්වයේ වර්ධනයක්

අද (09) සහ හෙට (10) දිනවලදී උතුර, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වල වැසි තත්ත්වයේ වැඩිවීමක් අපේක්ෂා කළ හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

එසේම දිවයිනේ බොහෝ ප්‍රදේශවල අහස වලාකුළින් බරව පවතිනු ඇතැයි ඔවුන් සඳහන් කරනවා.

උතුරු, නැගෙනහිර, ඌව, මධ්‍යම සහ දකුණු පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

නැගෙනහිර සහ ඌව පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ද බලාපොරොත්තු විය හැකි වනවා.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇති විය හැක.

දිවයිනේ සෙසු ප්‍රදේශවල ප.ව. 1න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් දැනුම් දෙන්නේ.

බස්නාහිර සහ සබරගමුව පළාත්වල උදැසන කාලයදී ද වැසි ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තදසුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.