ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට සූදානම් නැහැ – ජනපති

ඉන්ධන නැති, පොහොර නැති, කඩා වැටුණු ආර්ථිකයක් ඇති යුගයකට රට යළි පත් කළ නොහැකි බවත්, දුෂ්කර වුවද මෙම මාර්ගයේ ඉදිරියට යාමෙන් රටේ ආර්ථිකය කඩිනමින් ශක්තිමත් කරගත හැකි බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.

වැරදි ආර්ථික තීන්දු ගැනීමෙන් සිදුවන්නේ රුපියල නැවත අවප්‍රමාණය වීම බව පෙන්වා දුන් ජනාධිපතිවරයා ඇතැමුන් පවසන ආකාරයේ ජනප්‍රිය තීන්දු ගෙන රටේ අනාගතය අඳුරු කිරීමට තමන් සූදානම් නොමැති බවද අවධාරණය කරනු ලැබුවා.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ අද (03) පෙරවරුවේ කොළඹ සිරිමාවෝ බණ්ඩාරනායක අනුස්මරණ ප්‍රදර්ශන මධ්‍යස්ථානයේදී පැවැත්වුණ “ශිල්ප අභිමානී 2023” ජනාධිපති හස්ත කර්මාන්ත සම්මාන උළෙල අමතමිනි.

මෙරට හස්ත කර්මාන්ත ක්ෂේත්‍රය විදේශ විනිමය උපයන ක්ෂේත්‍රයක් බවට පත් කිරීමට අවශ්‍ය සියලු සහය ලබාදීමට රජය කටයුතු කරන බවද හෙතෙම පැවසුවා..

සාම්ප්‍රදායික හා සංස්කෘතික වටිනාකමක් ඇති හස්ත කර්මාන්ත ක්ෂේත්‍ර සංරක්ෂණය කිරීම සහ ප්‍රවර්ධනය කිරීම, හස්ත කර්මාන්ත ශිල්පීන් සමාජීය වශයෙන් ඇගැයීමට ලක් කිරීම හා ආර්ථිකමය වශයෙන් ශක්තිමත් කිරීමේ අරමුණ ඇතිව ජාතික ශිල්ප සභාව මඟින් වාර්ෂිකව “ශිල්ප අභිමානී” ජාතික හස්ත කර්මාන්ත තරගය සහ ප්‍රදර්ශනය සංවිධානය කරනු ලබනවා.