බස්නාහිර සහ මධ්‍යම පළාත් ඩෙංගු මර්දන වැඩසටහන් සාර්ථක වෙයි

බස්නාහිර හා මධ්‍යම පළාත්වල ඩෙංගු මර්දනය සඳහා ක්‍රියාත්මක කරන ලද වැඩසටහන් වල ප්‍රගති සමාලෝචන රැස්වීමක් ඊයේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී පවත්වා තිබෙනවා.

බස්නාහිර හා මධ්‍යම යන පළාත්වල ඩෙංගු ව්‍යාප්තිය වැඩි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස කෙරෙහි වැඩි අවධානයක් යොමු කරමින් ක්‍රියාත්මක කරන ලද විවිධ ඩෙංගු මර්දන හා දැනුවත් කිරීමේ වැඩසටහන් හේතුවෙන් සැළකිය යුතු අන්දමින් ඩෙංගු ව්‍යාප්තිය පාලනය වී ඇති බවයි මෙහි දී අනාවරණය වී ඇත්තේ.

එසේම යාපනය, ත්‍රිකුණාමලය හා මඩකලපුව වැනි දිස්ත්‍රික්ක කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ යුතු මට්ටමක ඩෙංගු ව්‍යාප්තිය පවතින අතර රාජ්‍ය ආයතන, පාසැල්, ආගමික ස්ථාන, පොදු ස්ථාන හා පෞද්ගලික ආයතන ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තිය බහුලව සිදුවන ප්‍රදේශ ලෙස හඳුනා ගෙන ඇති බවද සඳහන් කර තිබෙනවා.

විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරමින් රටේ ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා ගන්නා ප්‍රයත්නය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් ප්‍රශංසාවට භාජනය කර තිබෙනවා.

ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෘජු අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක මෙහෙයුම් ඒකකයක් ස්ථාපිත කිරීමටත් ඊට සුදුසු නිලධාරීන් පත් කිරීම සඳහා සෞඛ්‍ය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන්, ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හා වැඩබලන පොලිස්තිවරයාගේ සහභාගීත්වයෙන් විශේෂ හමුවක් අද පැවැත්වීමටත් මෙහිදී තීරණය කෙරුණු බවයි සඳහන් වෙන්නේ.