සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ට සුබ ආරංචියක්

සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය වෙනුවෙන් ඇපකර ලබා දීම සඳහා වන ආයතනය ජනවාරි මාසයේ දී මුදල් අමාත්‍යාංශය යටතේ අරඹන බව රාජ්‍ය අමාත්‍ය ෂෙහාන් සේමසිංහ මහතා පවසනවා.

ඒ සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 50 ක මුදලක් වෙන් කර ඇති බවයි අමාත්‍යවරයා සඳහන් කරන්නේ.

අර්බුදයෙන් හිස ඔසවමින් සිටින අවස්ථාවේ දී මෙරට ආර්ථිකයෙන් 50%කට වඩා වැඩි දායකත්වයක් දක්වන සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසාය නගා සිටුවීම රජය ප්‍රමුඛ කාර්යකොට සලකන බවයි හෙතෙම පෙන්වා දෙන්නේ.

එසේම 2024 අයවැය මගින් අදාළ ව්‍යවසාය නගා සිටුවීමට වෙන්කර ඇති රුපියල් බිලියන 30කට අධික ප්‍රතිපාදන, ණය යෝජනා ක්‍රම වෙනුවෙන් යෙදවීමට රජය පියවර ගන්නා බවද අමාත්‍යවරයා පවසනවා.

මේ අතර කොවිඩ් වසංගතයේ සිට මේ දක්වා අදාළ ව්‍යවසාය වෙනුවෙන් කාරක ප්‍රාග්ධනය ලබාදීම ඇතුළු විවිධ සහන යෝජනා ක්‍රම 11ක් ක්‍රියාත්මක කර ඇති බවද අමාත්‍යවරයා අවධාරණය කර තිබෙනවා.