සිරකරුවන් හුවමාරුවක් සඳහා වන තම ඉල්ලීම් ඉටු නොකළහොත් කිසිදු ප්‍රාණ ඇපකරුවෙකුට පණපිටින් ගාසා තීරයෙන් පිටව යාමට ඉඩ නොදෙන බවට හමාස් සංවිධානය විසින් අනතුරු ඇඟවීමක් සිදු කර තිබෙනවා.
ඒ ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු විසින් මේ වන විට හමාස් සාමාජිකයන් බොහෝ දෙනෙක් සිය භාරයේ සිටින බැවින් හමාස් සංවිධානයේ අවසානය ඉතා ආසන්න බවට ප්‍රකාශ කිරීමත් සමඟය.
මේ අතර ගාසා තීරයේ ඛාන් යුනිස් ප්‍රදේශයෙන් හැකි ඉක්මනින් ඉවත් වන ලෙස එහි සිටින සිවිල් වැසියන්ට දැනුම් දී තිබෙනවා.
ඊශ්‍රායල හමුදා නිලධාරියෙක් සඳහන් කර තිබෙන්නේ එම ප්‍රදේශයේ සටන් ක්‍රමයෙන් වඩාත් දරුණු තත්ත්වයට පත් වන බැවින් සිවිල් වැසියන්ගේ ආරක්ෂාව තකා එයින් ඉවත් වන ලෙස දැනුම්දුන් බවයි.
ඊශ්‍රායල හමාස් යුද්ධයේ මැදිහත්කරු ලෙස කටයුතු කරන කටාර් රාජ්‍ය පවසන්නේ වර්තමාන තත්ත්වය අනුව තවත් සටන් විරාමයක් සඳහා ඇති අවස්ථාව ඉතාම අවම බවයි.
මේ වන විට ඊශ්‍රායල ප්‍රහාර හේතුවෙන් ගාසා තීරයේ මිය ගිය පුද්ගලයන් සංඛ්‍යාව 18,000 දක්වා ඉහළ ගොස් තිබෙනවා.

