යාපනයේ මුහුදු වෙරළට ගොඩ ගැසූ අමුතු බෝට්ටුව

යාපනයේ වඩමාරච්චි කුඩත්තනෙයි මුහුදු වෙරළට අරුම පුදුම හැඩයක බෝට්ටුවක් ගොඩ ගසා ඇතැයි වාර්තා වෙනවා.

එම බෝට්ටුව මුහුදු වෙරළට මදක් ඈතට පාවී තිබූ අතර ප්‍රදේශයේ ධීවරයින් එක්ව එය ගොඩට ගෙන තිබෙනවා.

මෙම බෝට්ටුව ශ්‍රී ලංකාවේ කිසිම පළාතක ධීවරයින් හෝ වෙනත් පිරිස් විසින් භාවිත නොකරන ආකාරයක බෝට්ටුවක් බව බෝට්ටුව පරීක්ෂා කළ ධීවර නිලධාරීන් හා නාවික හමුදාව ප්‍රකාශ කර තිබෙනවා.

එම බෝට්ටුවේ සලකුණු හෝ වෙන කිසියම් අක්ෂරයක් නොමැති නිසා කවර හෝ ධීවර සමිතියක මේ බෝට්ටුව ලියාපදිංචි කොට නොමැති බෝට්ටුවක් බවයි සඳහන් වෙන්නේ.

නිලධාරීන් සැක පළ කරන්නේ කිසියම් පිරිසක් මෙම බෝට්ටුවෙන් පැමිණ ඔවුන් ගොඩ බිමට පැමිණ බෝට්ටුව අත හැරීමක් හෝ අයහපත් කාලගුණික තත්ත්වය නිසා කුමන හෝ ස්ථානයක නවතා තිබූ මෙම බෝට්ට්ටුව මුහුදේ පාවී යාපනයේ මුහුදු වෙරළට පාවී එන්නට ඇති බවයි.

ඉන්දියාවට මේ බෝට්ටුව අයත් නොවන බවට පැහැදිලි සාක්ෂියක් නොමැති නමුත් මෙම බෝට්ටුව ගැන යාපනයේ ධීවර නිලධාරීන් යාපනයේ පිහිටි නියෝජ්‍ය ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයට තොරතුරු දැනුම් දී තිබෙනවා.

මේ වන විට එම බෝට්ටුවට පූර්ණ ආරක්ෂාව සලස්වා ඇති බවයි වැඩිදුරටත් සඳහන් වෙන්නේ.