මෙරට ක්‍රිකට් ක්‍රීඩාව දේශපාලනයෙන් තොරව පවත්වාගෙන යාම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කරනවා.
2030 දී මෙරට ක්‍රිකට් ක්‍රීඩාව තිබිය යුත්තේ කොතැනද කියා දැක්මක් තමා සතු බවත්, පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම සඳහා මෙවර අයවැයෙන් රුපියල් බිලියන 1.5 ක් වෙන් කළේ එම නිසා බවත් ජනාධිපතිවරයා සඳහන් කරනවා.
එසේම එම මුදල ඉදිරියේදි වසරකට බිලියන 02 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කරන බවයි හෙතෙම අවධාරණය කරන්නේ.
මෙම මුදල් පරිපාලනය සහ පාසල් ක්‍රිකට් ක්‍රීඩාව දියුණු කිරීම ස්වාධීන භාරයක් වෙත පැවරීමට අපේක්ෂා කරන බව සඳහන් කළ ජනාධිපතිවරයා සියලු කටයුතු විනිවිදභාවයෙන් පවත්වාගෙන යමින් අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීම ඉන් බලාපොරොත්තු වන බව ද සඳහන් කරනු ලැබුවා.
ජනාධිපතිවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (08) පස්වරුවේ කොළඹ කෝල්ට්ස් පිටියේ පැවති කොළඹ කෝල්ට්ස් ක්‍රීඩා සමාජයේ 150 වන සංවත්සර සැමරුම් උත්සවය අමතමිනුයි.
එසේම ක්‍රිකට් ක්‍රීඩාවට අදාළව ඉදිරියේ දි ගෙන එන නව නීති මඟින් අතුරු කමිටුවල සහ ඇමතිවරයාගේ බලතල අහෝසි වන අතර ක්‍රීඩාව වාණිජකරණය වෙනවා නම් එය දේශපාලනයෙන් තොරව තබා ගැනීමේ අවශ්‍යතාව ද මෙහි දී අවධාරණය කළා.





