ගාසා තීරයේ අඩකට වැඩි පිරිසක් කුසගින්නෙන්

ගාසා තීරයට අවශ්‍ය මූලික පහසුකම් නිසියාකාරව නොලැබෙන හෙයින් මේ වන විට එහි අඩකට වැඩි පිරිසක් කුසගින්නේ සිටින බව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පෙන්වා දී තිබෙනවා.

එක්සත් ජාතීන්ගේ ලෝක ආහාර වැඩසටහනේ නියෝජ්‍ය අධ්‍යක්ෂ කාල් ස්කවු පැවසුවේ පුද්ගලයින් දහදෙනෙකුගෙන් නව දෙනෙකුට දිනපතා ආහාර ගත නොහැකි තත්ත්වයක් ඇති වී ඇති බවයි.

ඔහු සඳහන් කරන්නේ ඊශ්‍රායලය විසින් ගාසා තීරයට ආධාර ලබා දීම සම්බන්ධයෙන් පනවා ඇති සම්බාධක හේතුවෙන් ආහාර ඉතා අසීරුවකින් යුතුව ලබා දෙන බවයි.

මේ අතර හමාස් සංවිධානය මුළුමුනින්ම උපුටා දැමීමට සහ තවදුරටත් සිර කර ගෙන සිටින ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් පිරිස නිදහස් කර ගැනීමට නම් තවදුරටත් ගාසා තීරයට ගුවන් ප්‍රහාර එල්ල කළ යුතු බවයි ඊශ්‍රායල හමුදා අංශ සඳහන් කරන්නේ.

ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශක ලුතිනන් කර්නල් රිචඩ් හෙක්ට් BBC වෙත සඳහන් කර ඇත්තේ ගාසා තීරයේ සිවිල් මරණ අවම කිරීමට සහ ආධාර වැඩියෙන් ලබා දීමට අවශ්‍ය පියවර ගන්නා බවයි.