අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි 433ක් ජීවිතක්ෂයට

අලි මිනිස් ගැටුම හේතුවෙන් අලි ඇතුන් 433 දෙනකු පසුගිය වසරේදී මරණයට පත්ව ඇතැයි පරිසරය ස්වභාවික සම්පත් හා තිරසර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව අනාවරණය කරනවා.

අලි මිනිස් ගැටුම වැළැක්වීම සඳහා ජනතාව දැනුවත් කිරීමේ වැඩසටහනක් වහා ක්‍රියාත්මක කරන ලෙසයි කාරක සභාවේ සභාපති ගම්පහ දිස්ත්‍රික් මන්ත්‍රී අජිත් මාන්නප්පෙරුම මහතා සඳහන් කළේ.

අලි මිනිස් ගැටුම අවම කිරීමේ ජාතික ක්‍රියාකාරී සැලැස්ම එම කාරක සභාවට ඉදිරිපත් කර තිබෙනවා.

එහි දී අලි මිනිස් ගැටුමට විසදුම වන්නේ ප්‍රජාව මුල්කරගත් විදුලි වැට හා කුඹුරු ආරක්ෂා කරන කාලීන විදුලි වැට ඉදිකිරීම බව වනජීවී නිලධාරින් දැනුම් දී තිබෙනවා.

මෙහිදී අදහස් දැක්වූ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසුවේ අලි මිනිස් ගැටුම අවම කිරීමට නම් ඉඩම් පරිහරණය සම්බන්ධයෙන් ජාතික සැලැස්මක් ක්‍රියාත්මක කළ යුතු බවයි.