දින 17ක් තිස්සේ කඩා වැටුණු හිමාලය උමං මාර්ගයක සිරවී සිටි කම්කරුවන් 41 දෙනෙකු මුදා ගැනීමට ඉන්දියාවේ සහන කණ්ඩායම් සමත් වී තිබෙනවා.
උත්තරකාන්ද් හි පිහිටා ඇති කිලෝමීටර 4.5 දිග උමං මාර්ගයේ අවසන් කොටස සහන කණ්ඩායම් විසින් අතින් හාරමින් මෙම පිරිස බේරා ගෙන ඇති බවයි වාර්තා වෙන්නේ.
පසුගිය නොවැම්බර් 12 වන දා මෙම උමං මාර්ගය කඩා වැටීමත් සමඟ කම්කරුවන් පිරිස බේරා ගැනීම උදෙසා වඩාත් අභියෝගාත්මක මෙහෙයුමක් සිදු විය.
අවසානයේ පැය 400ක මෙහෙයුමකින් පසුව මෙලෙස ඊයේ දිනයේ ඔවුන් මුදවා ගෙන ඇති අතර පිටතට පැමිණි කම්කරුවන්ට කිසිදු තුවාලයක් නොමැති බවයි සඳහන් වෙන්නේ.
ඔවුන් සිර වී සිටින කාලයේ දී වෝකි ටෝකි උපකරණ හරහා පිටත පුද්ගලයන් සමඟ සන්නිවේදනය කළ අතර ආහාර,ජලය සහ ඔක්සිජන් වෙනමම නලයක් හරහා ඔවුන් වෙත ලබා දෙනු ලැබුවා.
![]()

