ශ්‍රී ලංකා රූපවාහිනිය සහ ගුවන්විදුලිය සමාගමක් වෙයි

ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (SLRC) සහ ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව (SLBC) පොදු සමාගමක් බවට පත් කරන බව අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා ප්‍රකාශ කරනවා.

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 28 ක පමණ පාඩුවක්ද ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාව මේ වසරේ රුපියල් කෝටි 46 ක පමණ පාඩුවක්ද ලබා ඇතැයි අමාත්‍යවරයා මෙහි දී අනාවරණය කළා.

ඒ අනුව මහ භාණ්ඩාගාරයට මෙම නාලිකා සඳහා මුදල් ප්‍රතිපාදන තවදුරටත් ලබාදීමට අපහසු බවත්, එම ආයතන සම්බන්ධයෙන් ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමට කමිටුවක් පත්කිරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇති බවත් සඳහන් කළා.

ආණ්ඩුවේ විවිධ සංවර්ධන ව්‍යාපෘති සඳහා රාජ්‍ය මධ්‍යවලින් ප්‍රමාණවත් ප්‍රචාරණයක් නොදෙන බවටයි කාරක සභාවේදී අදහස් ඉදිරිපත්ව ඇත්තේ.

අමාත්‍යවරයා වැඩිදුරටත් අවධාරණය කළේ විවිධ අබලන් ගොඩනැගිලි, මාර්ග, පාලම් ආදියෙන් පීඩාවට පත්වන මහජනතාවගේ අපහසුතාවයන් ප්‍රසිද්ධ මාධ්‍ය මගින් විකාශනය කළ යුතු අතර සංවර්ධනයෙන් පසු ජනතාවට ලැබී ඇති පහසුකම් පිළිබඳව ද ජනතාව දැනුවත් කළ යුතු බවයි.

එසේම සමාජ සංස්කෘතියට සහ පුද්ගල සෞඛ්‍යයට හානි වන අයුරින් මාධ්‍ය මගින් සිදුකරන ප්‍රචාරක කටයුතු නියාමනය කිරීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳ වාර්තාවක් සකස් කර එය කමිටුවට ඉදිරිපත් කරන ලෙස ඔහු ශ්‍රී ලංකා පුවත්පත් මණ්ඩලයට වැඩිදුරටත් උපදෙස් ලබා දී තිබෙනවා.