අයහපත් කාලගුණය හේතුවෙන් ඉන්දියාවේ මරණ 24ක්

මේ දිනවල ඉන්දියාවට බල පැවැත්වෙන අකුණු සහිත තද වැසි සහ හිම කැට වර්ෂාව හේතුවෙන් පුද්ගලයින් 24 දෙනෙකු පමණ මියගොස් ඇති බව ඉන්දිය මාධ්‍ය වාර්තා කර තිබෙනවා.

මෙම අයහපත් කාලගුණ තත්ත්වය හේතුවෙන් බටහිර ගුජරාට් ප්‍රාන්තයේ නිවාස බොහොමයකට හානි වී ඇති අතර සතුන් බොහොමයක් දෙනා ද මිය ගොස් ඇති බවයි සඳහන් වෙන්නේ.

ගුජරාටයේ ඇතැම් ප්‍රදේශ වලට පැය 24ක් තුල මිලිමීටර 144 දක්වා වූ දැඩි වර්ශාපතනයක් ලැබී තිබෙන බවයි වාර්තා වෙන්නේ.

සාමාන්‍යයෙන් ශිත ඍතුවේ දී මෙලෙස තද අකුණු සහිත වැසි කුණාටු ගුජරාට් ප්‍රාන්තයේ ඇති නොවන බැවින් මෙම කාලගුණ විපර්යාසය බොහෝ දෙනාගේ අවධානයට ලක් වී තිබෙනවා.

ඉන්දීය කාලගුණ අංශ අවධාරණය කරන්නේ මෙම අයහපත් කාලගුණ තත්ත්වය ඉදිරි දින කිහිපය තුළ ද පැවතිය හැකි බවයි.

ඉන්දියාවේ ස්වදේශ කටයුතු අමාත්‍ය අමිත් ෂා කියා සිටියේ සිදු වූ මෙම මරණ පිළිබඳව තමා දැඩි ශෝකයට පත්වන බවත්, විපතට පත් වූ ජනතාවට සහන සැලසීමට උපරිමයෙන් කටයුතු කරන බවත් ය.