මෙරටට පැමිණ සිටින සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍ය ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා (Faisal F.Alibrahim) සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර හමුවක් ඊයේ ජනාධිපති කාර්යාලයේ දී පවත්වා තිබෙනවා.
එහි දී ශ්‍රී ලංකාව සහ සෞදි අරාබිය අතර පවතින ආර්ථික සබඳතා තවදුරටත් ශක්තිමත් කර ගැනීම පිළිබඳ දීර්ඝ ලෙස සාකච්ඡා කර ඇති අතර විශේෂයෙන් ඇඟළුම් සහ සංචාරක ක්ෂේත්රයට අදාළව දෙරට අතර පවතින සබදතා වැඩිදියුණු කර ගැනීමට අපේක්ෂා කරන බව සෞදි අරාබි රාජ්‍යයේ ආර්ථික සහ සැලසුම් අමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා.
එසේම කලාපය තුළ ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීමට සෞදි අරාබි රජයේ අවධානය යොමුව ඇති බව ද පැවසූ ෆයිසාල් එෆ්. අලිබ්‍රහීම් මහතා විසින් එහිදී ශ්‍රී ලංකාවට සුවිශේෂී ස්ථානයක් හිමි වන බව අවධාරණය කරනු ලැබුවා.
බටහිර ආසියාව ඇතුළු ආසියානු කලාපය තුළ සහයෝගීතාව ශක්තිමත් කර ගැනීමට ශ්‍රී ලංකාව කැපවී සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් සඳහන් කරනු ලැබුවා.



