නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට

විදුලිබල මණ්ඩලයේ කටයුතු විධිමත් කරමින් කාර්යක්ෂම උසස් සේවාවක් පාරිභෝගික ජනතාවට ලබාදීමේ අරමුණින් සකස් කළ නව විදුලිබල පනත ඉදිරි සති දෙක ඇතුළත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා පවසනවා.

එසේම බලාගාර ආශ්‍රිතව මේ දිනවල පවතින අධික වර්ෂාව සමඟ ජල විදුලි උත්පාදනය වැඩි වනු ඇති බවත්, එම තත්ත්වය මත දෙසැම්බර් මාසයේදී මණ්ඩලයට ලාභයක් ලබා ගැනීමට හැකිවුවහොත් එහි වාසිය ද පාරිභෝගික ජනතාව වෙත ලබා දීමට පියවර ගන්නා බවයි හෙතෙම සඳහන් කළේ.

‘ස්ථාවර රටකට සැවොම එක මඟකට’ මැයෙන් ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමිනුයි විදුලිබල හා බලශක්ති අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ.