අතීතයේ මෙරට ප්‍රධාන ආදායම් මාර්ගයක්ව පැවති කුළුබඩු කර්මාන්තය යළි නඟා සිටුවීම සඳහා පුළුල් වැඩපිළිවෙළක් අවශ්‍ය බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පවසනවා.
ඒ සඳහා නිසි සැලැස්මක් සකස් කරන ලෙස ශ්‍රී ලංකා කුළුබඩු සංගමය වෙත උපදෙස් දුන් ජනාධිපතිවරයා අවශ්‍ය පහසුකම් සලසාදීමට රජය සුදානම් බවත්, පෞද්ගලික අංශයද එක් කර ගනිමින් එම වැඩපිළිවෙළ කඩිනමින් ක්‍රියාවට නැංවිය යුතු බවත් සඳහන් කර තිබෙනවා.
කොළඹ ජයික් හිල්ටන් හෝටලයේ පැවති ශ්‍රී ලංකා කුළුබඩු සංගමයේ 19 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමින් හෙතෙම මේ බව පැවසුවා.
එසේම මෙහි දී ශ්‍රී ලංකාවේ කුරුදු කර්මාන්තයේ ප්‍රවර්ධනයට දැක්වූ දායකත්වය වෙනුවෙන් සාරද ද සිල්වා සහ මහාචාර්ය ජයසිරි ලංකාගේ යන මහත්වරුන් වෙත සම්මාන පිළිගැන්වීමද සිදු කෙරුණු අතර කෘෂිකර්ම සහ වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා වෙත ද සමරු තිළිණයක් ද පිළිගන්වා තිබෙනවා.

