ලොව පුරා සිටින ආගන්තුකයන් සමඟ video chat සිදු කළ හැකි වෙබ් අඩවියක් වන Omegle වසා දැමීමට එහි හිමිකරු වන Leif K-Brooks තීරණය කර තිබෙනවා.
ඔහු සඳහන් කර ඇත්තේ විවිධ පුද්ගලයන් විසින් Omegle අනිසි භාවිතකරන නිසා ඊට විරුද්ධව ක්‍රියාමාර්ග ගැනීම සහ එහි වියදම් කළමානාකරණය තමාට මානසික වශයෙන් පීඩාකාරී වී ඇති බවයි.
2009 දී ආරම්භ කරන ලද Omegle යනු පරිශීලකයින්ට තමන් ගැන කිසිදු තොරතුරක් හෙළි නොකර අන්තර්ජාලයේ හමුවන අහඹු පුද්ගලයින් සමඟ video chat කිරීමට ඉඩ සලසා දෙන වේදිකාවක් වනවා.
මෙම වෙබ් අඩවියේ ලියාපදිංචි වීමක් අවශ්‍ය නොවීම සහ තමාගේ අනන්‍යතාවය හෙළි කිරීමට සිදු නොවීම හේතුවෙන් මෙය පරිශීලකයන් අතර බෙහෙවින් ජනප්‍රිය වූවා.
විශේෂයෙන්ම covid වසන්ගත කාලයේ පුද්ගලයන් නිවෙස් තුළට වී සිටින විට දී Omegle හරහා බොහෝ දෙන එකිනෙකා සමඟ සන්නිවේදනය සිදු කිරීමට පෙළඹුනා.
Omegle හි අපගේ රුචිකත්වය එකතු කිරීම සඳහා ද අවස්ථාවක් සලසා දී ඇති තිබුණු අතර ඒ හරහා තමන් හා සමාන පුද්ගලයන් සමඟ සම්බන්ධ වීමට පරිශීලකයන්ට ඉඩ ලබා දී තිබුණා.
Omegle හරහා සිදුවන ළමා ලිංගික අපයෝජන, සහ නිරුවත් දර්ශන හුවමාරු කර ගැනීම හරහා ඇති වන විවිධ ගැටළු පසුගිය කාලයේ දී විශාල වශයෙන් වාර්තා වී තිබෙනවා.
මෙම අකටයුතුකම් පාලනය කිරීම සඳහා Omegle විසින් moderated chat room ආදී අංග මෙයට හඳුන්වා දීම සහ එය භාවිතා කරන පරිශීලකයන්ගේ අවම වයස් සීමාව අවුරුදු 13 සිට අවුරුදු 18 දක්වා ඉහළ දැමීම ආදී පියවර ගනු ලැබුවා.
කෙසේවෙතත් එහි වයස සත්‍යාපනය කිරීම සඳහා ක්‍රියාවලියක් නොතිබීම ආදිය හේතුවෙන් ඇතිවන අධිකරණමය බලපෑම් හමුවේ Omegle වෙබ් අඩවිය වසා දැමීමට එහි අයිතිකරු අද තීරණය කරනු ලැබුවා.

