දැදුරු ඔය නිම්නය ආශ්‍රිතව ගංවතුර අවදානමක්

දැදුරු ඔය නිම්නයේ පහත්බිම් ප්‍රදේශවලට ඉදිරි පැය කිහිපය තුළ සුළු ගංවතුර තත්ත්වයක් ඇති විය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඊයේ රාත්‍රී කාලය පුරා ඇද හැලුණු ධාරානිපාත වර්ෂාව හේතුවෙන් මේ වනවිට දැදුරු ඔය ජලාශයෙන් තත්ත්පරයට ඝන අඩි 14,000ක් නිකුත් කරමින් පවතින අතර ඉදිරියේ දීඑය වර්ධනය වීමේ හැකියාවක් පවතින බව යි එහි දැක්වෙන්නේ.

ඒ අනුව ඉදිරි පැය කිහිපය තුළ වාරියපොළ, නිකවැරටිය, මහව, කොබෙයිගනේ, බිංගිරිය, පල්ලම, හලාවත, ආරච්චිකට්ටුව සහ රස්නායකපුර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පහත්බිම්වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇති වීමේ අවදානමක් පවතිනවා.

මේ සම්බන්ධයෙන් ජනතාවට දැඩි සැලකිල්ලක් දක්වන ලෙසත් එම ප්‍රදේශ හරහා ගමන් ගන්නා රියදුරන්ට කල්පනාකාරීව අවශ්‍ය පියවර ගන්නා ලෙසත් වාරිමාර්ග දෙපාර්තමේන්තුව දැනුම් දෙනවා.