මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් 03ක් ඉදිරි සතියේ විවාදයට

මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත් තුනක් නොවැම්බර් 07 වන දින සිට 10 වන දින දක්වා පැවැත්වෙන පාර්ලිමේන්තු සතියේ දී විවාදයට ගැනීමට නියමිතව තිබෙනවා.

ඒ අනුව පළාත් පාලන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත මෙලෙස විවාදයට ගැනීමට නියමිත බවයි සඳහන් වෙන්නේ.

එම සතියට අදාළ පාර්ලිමේන්තු කාලසටහන පහත පරිදි වේ.

– නොවැම්බර් මස 07 වනදා පෙරවරු 09.30ට පාර්ලිමේන්තු කටයුතු ආරම්භ කිරීමට නියමිත අතර එහිදී ධීවර හා ජලජ සම්පත් සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය

– නොවැම්බර් මස 08 වනදා සිවිල් නඩු විධාන සංග්‍රහ සංශෝධන පනත් කෙටුම්පත සහ අධිකරණයකට, විනිශ්චය අධිකාරයකට හෝ ආයතනයකට අපහාස කිරීම පිළිබඳ පනත් කෙටුම්පතට අදාළ විවාදය

– නොවැම්බර් මස 09 වනදා ශ්‍රී ලංකා අපනයන සංවර්ධන පනත යටතේ නියෝග, ආනයන අපනයන පාලන පනත යටතේ රෙගුලාසි සහ කොළඹ වරාය නගර ආර්ථික කොමිෂන් සභා පනත යටතේ රෙගුලාසි පිළිබඳ විවාදය

– නොවැම්බර් 10 වනදා පළාත් පාලන ආයතන මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පතට අදාළ විවාදය, පාර්ලිමේන්තු මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය සහ පළාත් සභා මැතිවරණ සංශෝධන පනත් කෙටුම්පත දෙවන වර කියවීමේ විවාදය

එසේම,

නොවැම්බර් මස 13 වන සඳුදා ලබන වර්ෂය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත දෙවන වර කියවීම හෙවත් අයවැය කතාව සිදු කිරීමට නියමිතව තිබෙනවා.

අයවැය දෙවන වර කියවීමේ විවාදය නොවැම්බර් මස 14 වනදා සිට 21 වනදා දක්වා දින 07ක කාලයක් පැවැත්වෙන අතර අයවැය දෙවන වර කියවීමේ ඡන්ද විමසීම නොවැම්බර් මස 21 වනදා පස්වරු 06ට පැවැත්වෙයි.

අයවැය තෙවන වර කියවීමේ විවාදය හෙවත් කාරක සභා අවස්ථාවේ විවාදය නොවැම්බර් මස 22 වනදා සිට දෙසැම්බර් මස 13 වනදා දක්වා දින 19ක කාලයක් පැවැත්වීමට නියමිත අතර ඊට අදාළ ඡන්ද විමසීම දෙසැම්බර් මස 13 වනදා පස්වරු 06ට පැවැත්වීමට නියමිතය.