බෙහෙත් කල් ඉකුත් වීමෙන් මිලියන 156.5ක පාඩුවක්

2021 සහ 2022 වසරවල ඖෂධ කල් ඉකුත් වීම සහ හානි වීම නිසා රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවට රුපියල් මිලියන 156.5ක අලාභයක් සිදු වී ඇති බව ජාතික විගණන කාර්යාලය පෙන්වා දෙනවා.

මූල්‍ය ප්‍රකාශනවලට අනුව සංස්ථාවේ අලෙවිය සඳහා මිල දී ගෙන තිබුණු 2022 දෙසැම්බර් 31 වන දාට තත්ත්වයෙන් අසමත් සහ කල් ඉකුත් වූ ඖෂධ වල මුළු පිරිවැය මිලියන 344.23ක් වනවා.

එයින් මිලියන 187.73 ක මුදලක් සැපයුම්කරුවන්ගෙන් අය කර ගෙන ඇති අතර ඉතිරි වූ මුදල එනම් අලාභය මිලියන 156.5ක් බවයි විගණන වාර්තාවේ සඳහන් වෙන්නේ.

තත්ත්වයෙන් අසමත් ඖෂධ වල වටිනාකම අදාළ සැපයුම්කරුවන්ගෙන් අය කර ගැනීමටත්, ඖෂධ කල් ඉකුත් වීමට හේතු සොයා බලා ඒ සඳහා පිළියම් යෙදීමටත් එම හේතුවලට වගකිවයුතු පාර්ශවයන්ගෙන් අලාභ අය කර ගැනීමට කටයුතු කළ යුතු බවටත් විගණන මඟින් නිර්දේශ කර තිබෙනවා.