IMF වාර්ෂික සමුළුව අද

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සහ ලෝක බැංකුව සෑම වසර තුනකට වරක්ම සිය වාර්ෂික සමුළුව වොෂින්ටන් හි පිහිටි ඔවුන්ගේ මූලස්ථානයෙන් පිටත සිදු කරනු ලබනවා.

ණය සහ දේශගුණ විපර්යාසවලින් පීඩාවට පත් දුප්පත් ජාතීන්ට ආධාර කිරීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ සැකසීම මූලික කර ගෙන මෙවර එම සමුළුව වසර 50 කට පමණ පසු අප්‍රිකානු රටක පැවැත්වීමට නියමිතව තිබෙනවා.

එය දකුණු මොරොක්කෝවේ නගරයක් වන Marrakesh හි දී රටවල් රැසක මුදල් අමාත්‍යවරුන්, මහ බැංකු අධිපතිවරුන් ඇතුළු නිලධාරීන් රැසකගේ සහභාගිත්වයෙන් පැවැත්වෙනු ඇත.

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ, මහ බැංකු අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ, මුදල් අමාත්‍යංශ ලේකම් මහින්ද සිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වීමට නියමිතය.

ලෝකයේ පිළිගත් භාවිතයන් අනුගමනය කරමින් සිදුකළ ප්‍රතිසංස්කරණ තුළින් ශක්තිමත් කරගත් ජාත්‍යන්තර විශ්වාසය තවදුරටත් තහවුරු කර ගැනීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදී ශ්‍රී ලංකාවට හැකිවනු ඇති බවයි නිවේදනයක් නිකුත් කරමින් මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා සඳහන් කළේ.