Emirates සහ ශ්‍රී ලංකන් අතර නව ගිවිසුමක්

ඩුබායි Emirates සහ ශ්‍රී ලංකාවේ ශ්‍රී ලංකන් ගුවන් සේවය මගී සම්බන්ධතාව ඉහළ නැංවීම සඳහා අන්‍යෝන්‍ය අන්තර් සම්බන්ධතා ගිවිසුමකට අත්සන් තබා තිබෙන බව වාර්තා වෙනවා.

මෙමගින් කොළඹ සහ ඩුබායි හරහා එකිනෙකාගේ ජාලවල නව ස්ථාන වෙත ප්‍රවේශ වීමටත්, තනි ටිකට් පතක් භාවිතා කර ගමන් මලු මාරු කිරීමේ පහසුව භුක්ති විඳීමටත් මගීන්ට පහසුකම් සැලසෙන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම නිවේදනය කරන්නේ.

එමිරේට්ස් මගීන්ට තෝරා ගැනීම සඳහා, කොළඹ හරහා ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් මෙහෙයවනු ලබන කලාපීය ගමනාන්ත 15ක් අන්තර් මාර්ග හවුල්කාරිත්වය මඟින් විවෘත කරන බැවින් එම ගුවන් වාර සඳහා ප්‍රවේශපත්‍ර දැන් මිල දී ගත හැකි වෙනවා.

එහිදී මාලදිවයිනේ ගැන් දූපතට අමතරව නව ඉන්දියානු ගමනාන්ත දෙකක් වන මදුරෙයි සහ තිරුචිරපල්ලි ඇතුළත් වන බවත්, පාරිභෝගිකයින්ට ඉතා පහසු ගමන් මලු ප්‍රතිපත්තියක් සහ කරදරයකින් තොරව ගමන් මලු පිරික්සීමේ පහසුව භුක්ති විඳිමින් තනි ප්‍රවේශපත්‍රයකින් බාධාවකින් තොරව ගමන් කළ හැකි බවයි නිවේදනයේ වැඩිදුරටත් දැක්වෙන්නේ.

මේ සම්බන්ධ වැඩිදුර තොරතුරු Emirates.com, srilankan.com හෝ වෙනත් ඕනෑම සංචාරක නියෝජිතායතනවලින් ලබා ගත හැක.