සෞඛ්‍ය අමාත්‍යවරයාට එරෙහි විශ්වාසභංගය පරාජයට පත් වෙයි

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව අද පාර්ලිමේන්තුවේ දී ඡන්ද විමසීමෙන් අනතුරුව පරාජයට පත් වී තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ඖෂධ සහ වෛද්‍ය සැපයුම් හිඟය සහ ප්‍රමිතියෙන් තොර ඖෂධ ලබාදීම හේතුවෙන් පසුගිය කාලය තුළ රජයේ රෝහල්වල මරණ කිහිපයක් වාර්තා වීම සම්බන්ධයෙන් විපක්ෂය විසින් මෙම යෝජනාව ඉදිරිපත් කරනු ලැබුවා.

එය පසුගිය දින තුනක කාලයක් පාර්ලිමේන්තුවේ විවාදයට ගැනුණු අතර එයට අදාළ ඡන්ද විමසීම අද පස්වරුවේ සිදු කෙරුණා.

එහි දී විශ්වාසභංග යෝජනාවට විරුද්ධව මන්ත්‍රීවරුන් 113 දෙනෙකු සහ පක්ෂව මන්ත්‍රීවරුන් 73 දෙනෙකු ඡන්දය ප්‍රකාශ කිරීමත් සමඟ වැඩි ඡන්ද 40කින් එය පරාජයට පත්වුණා.