චීන ව්‍යවසායකයන් බොහොමයක් ශ්‍රී ලංකාවේ ආයෝජනයට කැමැත්තෙන්

විවිධ කර්මාන්තවල නිරත චීන ව්‍යවසායන් බොහොමයක් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට දැඩි කැමැත්තක් පළ කර ඇති බව ආයෝජන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කරනවා.

දෙරට අතර ආර්ථික සබඳතා ශක්තිමත් කර ගැනීම පිණිස වූ ශ්‍රී ලංකා චීන ආයෝජන ප්‍රවර්ධන සංසදය ඊයේ පැවැත්වුණු අතර ඒ සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් රාජ්‍ය අමාත්‍ය අමුණුගම මහතා සහභාගී වී තිබෙනවා.

මෙහි දී වෛද්‍ය විද්‍යාව, සූර්ය බලශක්ති උත්පාදනය, සුළං බලශක්තිය, ධීවර කර්මාන්තය සහ යටිතල පහසුකම් ඇතුළු විවිධ ක්ෂේත්‍රවල චීන ව්‍යවසායන් ශ්‍රී ලංකාවේ ආයෝජනය කිරීමට ඔවුන්ගේ කැමැත්තක් පළ කර ඇති බවයි වාර්තා වෙන්නේ.

එසේම ශ්‍රී ලංකාවේ ආයෝජන ප්‍රවර්ධන අමාත්‍යාංශයේ චීන නියෝජිත කාර්යාලය විවෘත කිරීම ද මෙහි දී සිදු කර තිබෙන අතර එම කාර්යාලය ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික අවස්ථා අපේක්ෂා කරන චීන ආයෝජකයින් සම්බන්ධ කර ගැනීමේ ප්‍රධාන ස්ථානයක් ලෙස කටයුතු කරනවා.