තද වැසි සමඟ ගංගා ජල මට්ටම් ඉහළට

දිවයිනට ඇද හැලෙන අධික වර්ෂාපතනය හේතුවෙන් ගංගා කිහිපයක ජලය පිටාර මට්ටම දක්වා ඉහළ ගොස් ඇති බව වාර්තා වෙනවා.

මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්ස ඇතුළු තදාසන්න ප්‍රදේශවලට දින දෙකක සිට ඇදහැලෙන තද වැසි හේතුවෙන් පහත් බිම් යටවී නිල්වලා ගඟ පිටාර මට්ටමට පැමිණ ඇති බවයි මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ අංශය පවසන්නේ.

එසේම ගාල්ල දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වර්ෂාව හේතුවෙන් ගිං ගඟ දෙපස පිහිටි නාවක්කඩ මුල්කඩ, පාතවැලිවිටිය ආදී ප්‍රදේශවල අතුරු මාර්ග සහ පහත් බිම් ජලයෙන් යට වී ඇති බවයි වාර්තා වෙන්නේ.

මේ අතර හම්බන්තොට දිස්ත්‍රික්කයටත් ඇදහැලෙන වැසි සමග බෙලිඅත්ත සිටිනාමලුව මහවැව වාන් දැමීම ආරම්භ වී තිබෙනවා.

කෙසේවෙතත් ජලාශ භාර ඉංජිනේරුවරුන් පවසන්නේ මධ්‍යම කඳුකරයේ කාසල්රි සහ මවුස්සාකැලේ ජල පෝෂක ප්‍රදේශවලටත් කඩින් කඩ වර්ෂාව ඇද හැලුණත් එය ජලාශවල ජල මට්ටම ඉහල යාමට තරම් ප්‍රමාණවත් නොවන බවයී.

මෙලෙස ප්‍රදේශ කිහිපයකට තද වර්ෂාපතනයක් ලැබුනත් තවමත් දිවයිනේ ප්‍රදේශ රැසකට වියළි කාලගුණයක් පවතින බවයි වැඩිදුරටත් වාර්තා වෙන්නේ.